මුද්‍රණය සඳහා

 
නි.ඇමැති කාදර්ට එරෙහිව විනය පරීක්ෂණ එජාපයට බෑ

නි.ඇමැති කාදර්ට එරෙහිව විනය පරීක්ෂණ එජාපයට බෑ

කොළඹ දිසා අධිකරණයෙන් ස්ථිර තහනමක්

දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරිම පදනම් කරගෙන පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට හෝ විනය පරික්ෂණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි බව කොළඹ දිසා අධිකරණය ඊයේ(27) තීන්දු කෙළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 73 දෙනකුට එරෙහිව ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා මේ තීන්දුව නිකුත් කෙළේය.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කාදර් මහතා විසින් පැවරූ නඩුවක් විභාග කිරිමෙන් අනතුරුව ඒක පාක්ෂිකව මේ තීන්දුව නිකුත් කෙරිණි. විත්තිකරුවන් වෙනුවෙන් නඩුව පැවරූ මුල් අවස්ථාවේදී නීතිඥවරුන් පෙනීසිටියද පසුව නීතිඥවරු පෙනී නොසිටියහ. එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා 2011 සැප්තැම්බර් 20 දින නිකුත්කළ ලිපියක් අභියෝගයට ලක්කරමින් මේ නඩුව පැවරීය.

කාදර් මහතා දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජන්ද විමසීමේදි එජාප මන්ත්‍රිවරයකු ලෙස, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණවලට පටහැනිව යමින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරිමට හේතු හා නිදහසට කරුණු විමසමින් මේ ලිපිය නිකුත් කර තිබිණි.

රට ජාතිය, කාලීන අවශ්‍යතාව සළකා ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය ප්‍රකාශ කළ බවත් එය පදනම් කරගෙන පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම හෝ මන්ත්‍රී ධුරය අහෝසි කිරිමට කටයුතු කිරිම ද්වේශ සහගත බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

එක්සත් ජාතික පක්ෂය හා පක්ෂ නායකත්වය බෝහෝ අවස්ථා වලදී පක්ෂ ව්‍යවස්ථාව සහ රටේ නීතියද, ස්වභාවික යුක්ති ධර්මයන්ද දැඩිලෙස උල්ලංඝනය කරමින් පාර්ලමේන්තු මන්ත්‍රීවරයකුට හිම් ජනතා පරමාධිපත්‍ය හැල්ලුවට ලක්කර ඇති බවත්, මන්ත්‍රිවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කැර ඇති බවත් පැමිණිල්ල පැවසීය.

කරුණු සළකා බැලූ කොළඹ දිසා අධිකරණය මුල් අවස්ථාවේ පක්ෂයෙන් නෙරපීම වාරණට ලක් කළේය. එම වාරණයට විරුද්ධව එජාපය අභියාචනයක් ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණය සංශෝධන සහිතව වාරණය නිකුත් කළේය. එම නියෝගය පරිදි දිසා අධිකරණය මගින් අතුරු තහනමක් නිකුත් කර තිබූ අතර එම තහනම ඊයේ දිනය තෙක් ක්‍රියාත්මක විය. අතුරු තහනම් නියෝගය ස්ථිර තහනමක් කළ දිසා විනිසුරුවරයා පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ චන්ද්‍ර කුමාර් මහතා පෙනීසිටි අතර නියෝජ්‍ය ඇමැති අල්හාජ් අබ්දුල් රහිම් මොහිදින් අබ්දුල් කාදර් මහතා අධ්කරණයේ පෙනී සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]