ගම්පහ මාකේවිට ගල්වැටිය අමුණ රක්‍ෂිතය සංචාරකයන්ගේ අවිධිමත් ක්‍රියා නිසා විනාශයි

ගම්පහ මාකේවිට ගල්වැටිය අමුණ රක්‍ෂිතය
සංචාරකයන්ගේ අවිධිමත් ක්‍රියා නිසා විනාශයි

* මත්ලෝලින් බෝතල් තැන තැන කඩා දමලා

* ඇතැම් පිරිස් අසංවරව හැසිරෙන බවට චෝදනා

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකේවිට ගල්වැටිය අමුණ රක්‍ෂිත භූමිය පිහිටා ඇත්තේ ඉතාමත් මනස්කාන්ත පරිසරයකය.අත්තනගලු ඔය ජලාශය මේ ගල්වැටිය අමුණ මැදි කර සුන්දරව ගලා බසී. එහෙත් ඒ සුන්දර ස්වභාවයට පත්ව තිබූ මේ ප්‍රදේශය සළෙලුන්ගේ රජදහනක් බවට පත් වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

විවිධ පළාත්වලින් එන තරුණ කණ්ඩායම් මත්පැන් බී අසංවරව හැසිරෙන ස්ථානයක් බවට මේ ස්ථානය පත්ව තිබේ. ඇතැම් තරුණ තරුණියන්ගේ අසෝබන හැසිරීම් හේතුවෙන් කුඩා දරුවන්ද මේ ස්ථානයට ගෙන යෑමට නොහැකිය. බීමත් තරුණයන් විටෙක නිරුවත්ව ජලයට බසී.

මත්පැන් පානය කර බෝතල් බැම්මේ ගසා බිඳ දමති. ඒවා ජලයට විසි කරති. බියර් කෑන් ටින් අවට විසිරුවා දමා ප්‍රදේශය දුෂණය කර ඇත. හිස් සිගරට් පැකට්ටු කෑම වර්ග එතූ පොලිතින් කවරද මේ ස්ථානයේ ගොඩ ගසා දමා ඇත. මේ ගල්වැටිය අමුණෙන් අවට කුඹුරු යායකට ජලය සපයයි.

මෙම අමුණ පාලනය වන්නේ ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු අංශයෙනි. මේ සුන්දර ස්ථානය වැනසී යාමට ඉඩ නොදී රැක ගැනීමට ආරක්ෂක අංශවල අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලති.

අමුණ හා සම්බන්ධ අත්තනගලු ඔය

මාකේවිට ගල්වැටිය අමුණ රක්‍ෂිතය

රක්‍ෂිත ජලාශය අසල බෝතල් ඇතුළු අපද්‍රව්‍ය දමා ඇති අයුරු

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා