මනාලියගේ මවුපියන්ට පුරාජේරුව පෙන්වූ මනාලයාට වැඩ වැරැදිලා

මනාලියගේ මවුපියන්ට පුරාජේරුව පෙන්වූ මනාලයාට වැඩ වැරැදිලා

පුවත්පතක පළකොට තිබූ මංගල යෝජනා දැන්වීමකට පිළිතුරු යැවූ අඹතැන්න ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියකුට මනාලියගෙන් පිළිතුරක් ලැබුණේ නියමකරගත් වෙලාවක තම නිවෙසට පැමිණ නිවෙසේ අය සමග කතා කොට මංගල්‍ය තීන්දු කරගත යුතු බවයි.

මැදිවයසේ සිටින මෙම විශ්‍රාමිකයා රහසේ සිය පොලිස් හැඳුනුම්පත තබාගෙන විවිධ වංචනික ක්‍රියාවන්හිද නිරතවන අතර නළුවෙකු මෙන් හැසිරෙන හෙතෙම සල්ලාලයෙකු බවද සැලවිය.

පිළිතුරු අනුව නියමිත දිනයේ මනාලියගේ නිවෙස සොයා බස් රියකින් ගොස් නිවෙසට නුදුරු නැවතුම් පොළකින් බැස ගත්තේය.

බස් රියෙන් බැසගත් මොහු එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රියදුරකු වෙත ගොස් තමන් සොයන නිවෙස පිළිබඳ විස්තර විමසුවේය.

මොහුගේ විස්තර ඇසූ ත්‍රිරෝද රථ රියදුරා මහත්තයා කොහෙද කොයි පළාතෙද වැඩ කරන්නේ යැයි අසද්දී හෙතෙම පොලිස් හැදුනුම්පත පෙන්වා තමන් සොයන නිවෙස වෙත රැගෙන යන ලෙස ඉල්ලීය.

පොලිස් නිලධාරියකු නිසාත් ඔහු සොයන නිවෙස ඇසට පෙනෙන මානයේ තිබෙන හෙයින් ත්‍රිරෝද රථයෙන් යෑම පල රහිත ගමනක් නිසාත් එයට මුදලක් අය කිරීමට නොහැකි බවත් රියැදුරා පැවසුවේය.

තමුන්ට ඒ පැහිච්ච කමෙන් වැඩක් නැහැ. එනව යන්න ටික දුර හරි කමක් නැහැ මමනේසල්ලි ගෙවන්නේ තමුසෙට තියෙන්නේ මාත් එක්ක අඹතැන්නේ අපේ ගෙදර ඉඳලම ආ බව ගෙදර අයට අඟවන එක විතරයි යනුවෙන් කියා අමුත්තා රථයට ගොඩ විය. නිවෙස අසලින් ඔහු බසින විට රථයේ නලාව හඬවන ලෙස ඉහත කී පුද්ගලයා රියදුරාට අණ කළෙන් ඔහුද නලාව හැඬවිය. ගෙතුල සිට වැඩිහිටි යුවළක් ආ විට ඔවුන්ට සිනාවකින් සංග්‍රහ කළ මනමාල මහතා කීයද අඹතැන්නේ ඉදල මෙහාට ගණන යැයි විමසීය.

රියැදුරාද 350 යි සර් යනුවෙන් පැවසුවේ අඹතැන්නේ සිට මෙම ස්ථානයට සැබෑ ගාස්තුව එය බැවිනි. රු. 500 නෝට්ටුවක් ඇදගත් පුද්ගලයා ආ මල්ලි මුදල් ඉතුරු සල්ලි ඔයා තියාගන්න. තව පැයකින් විතර මාව එක්කන් යන්න එන්න කියමින් රියැදුරාට මුදල් දුන්නේ උජාරුවෙනි.

සැණින් මුදල ගත් රියදුරු ඉගිලුනේය. වැඩිහිටි යුවළ ආදරයෙන් ගෙට කැඳවා තොරතුරු විමසන අතර ‘මහත්තයට ත්‍රිවිල් එක හම්බ වුණේ අඹතැන්නේදිද ඌ සල්ලි ගන්න ඇත්තේ මහත්තය ගැන විස්තර දන්නේ නැතුව වෙන්න ඇති’ යැයි වැඩිහිටියෝ පැවසුහ.

සැණෙකින් නිවෙසේ දුරකථනය නාද විය. නිවෙසේ හිමියා දුරකථනයට ඇමතීය. අප්පච්චි ඔය ආපු එකා බොරු සෝබන කාරයෙක්. අපේ අක්කට හරියන එකෙක් නොවෙයි. ප්ලේන්ටියක් දීල ආපහු යවන්න යැයි දුරකථනයෙන් කතා කළ පුද්ගලයා වැඩිහිටියන්ට දැනුම් දුන්නේය.

අපේ බාල පුතා කතා කළේ. ආ ඇත්තද දැං එනවා කියනවද යැයි මනාලයා විමසුවේය. නැහැ මහත්තය ආව ත්‍රිවිල් එක පැදගෙන ආවේ එයා තමයි. එයා මෙ මගුලට කැමැති නෑ. මනාලයා වහා එතැනින් මාරු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා