මවුබිමට පිටුපෑ රගර් ක්‍රීඩකයන්ට නවසීලන්තයෙත් තරග වරම් නෑ

මවුබිමට පිටුපෑ රගර් ක්‍රීඩකයන්ට නවසීලන්තයෙත් තරග වරම් නෑ

– රගර් සංගමයේ ලේකම්

පිලිපීනයේ මැනිලා නුවර පසුගියදා පැවැති ආසියානු ‘ෆයිව් නේෂන්ස්’ රගර් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම ප්‍රතික්ශේප කරමින් නවසීලන්තයේ ක්‍රීඩා කිරීමට ගිය ප්‍රවීණ ක්‍රීඩකයන් වන ෆසිල් මිරිජා සහ රොෂාන් වීරරත්නට එරට ක්‍රීඩා කිරීමට අවසර ලැබී නැතැයි ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉලියාස් මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

“අපේ රිලීස් එක නැතිව එයාලට එහේ සෙල්ලම් කරන්න බැහැ” ඉලියාස් මහතා පැවැසීය.

නවසීලන්තයේ අන්තර් සමාජ රගර් තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින ෆසිල් මිරිජා සහ රොෂාන් වීරරත්න සම්බන්ධව එරට රගර් සංගමය ශ්‍රී ලංකා රගර් සංගමයෙන් විමසීමක් කළ බව පැවැසු ලේකම්වරයා එම ක්‍රීඩකයන් සිය රට නියෝජනය කිරීම පැහැර හැරීමෙන් ජාත්‍යන්තර රගර් සංගමයේ (IRB) නීති රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත්, ඔවුන් සම්බන්ධ විනය පරීක්ෂණයක් ඉදිරියේදී ක්‍රියාත්මක වන බවත් නවසීලන්ත රගර් සංගමය විද්‍යුත් තැපෑල මගින් දැන්වු බව අනාවරණය කළේය.

රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඕනෑම ක්‍රීඩකයකු සතු වගකීම හා යුතුකම බැවින් ඉහත කී ක්‍රීඩකයන් දෙදෙනා එම වගකීම් පැහැර හැරීම සම්බන්ධව විනය කමිටුවේ වාර්තාව නිකුත් වනතුරු අනුමතය ලබාදිය නොහැකි බව රගර් ලේකම්වරයා වැඩිදුරටත් නවසීලන්ත රගර් සංගමයට දන්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රගර් සංගමයේ අනුමැතිය ලැබෙන තුරු මරිජා හා වීරරත්නට නවසීලන්තයේ ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව නවසීලන්ත රගර් සංගමය දන්වා ඇතැයි ඉලියාස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා