අන්තර් සමාජ රගර් නව අනුග්‍රාහකත්වයක් යටතේ

අන්තර් සමාජ රගර් නව අනුග්‍රාහකත්වයක් යටතේ

අන්තර් සමාජ රගර් ලීග් හා පිළිමලුන් පිටුදැකීමේ රගර් තරගාවලිය නව අනුග්‍රාහකත්වයක් යටතේ ලබන ජූනි මාසයේ දී පැවැත්වීමට ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා රගර් සංගම් විධායක කමිටු රැස්වීමේ දී තීරණය කළ බව එම සංගමයේ ලේකම් රිස්ලි ඉලියාස් මහතා දිනමිණට පැවැසීය.

නව අනුග්‍රාහකත්වය සඳහා දැනටමත් වෙළෙඳ සමාගම් 3ක් සමඟ සාකච්ජා කරමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය. පසුගිය වසර 13ක් පුරා අන්තර් සමාජ රගර් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය සැපයූ කැල්ටෙක්ස් ආයතනය සමග පැවැති ගිවිසුම අවලංගු කිරීමට රගර් සංගමය පසුගියදා තීරණය කිරීමත් සමඟ මේ වසරේ අන්තර් සමාජ රගර් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව විවිධ මත පළවී තිබිණි.

විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමත්, තරගාවලි පැවත්වීම සඳහා ඇස්තමේන්තු කරනු ලැබූ වියදම් අධික වීමත් හේතුවෙන් කැල්ටෙක්ස් ආයතනයෙන් වැඩි අනුග්‍රාහකත්ව මුදලක් රගර් සංගමය විසින් අපේක්ෂා කළ අතර ඒ සඳහා කැල්ටෙක්ස් ආයතනයේ එකඟතාව පළ නොවූ බැවින් එම අනුග්‍රාහකත්වය අවලංගු කොට නව අනුග්‍රහකත්ව ආයතනයක් කෙරෙහි යොමුවීමට රගර් සංගමයට සිදුවී තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා