ත්‍රිරෝද රිය ටිපරයේ ගැටී පුස්සැල්ලාවේ දී 2ක් මරුට

ත්‍රිරෝද රිය ටිපරයේ ගැටී පුස්සැල්ලාවේ දී 2ක් මරුට

ගම්පොළ පුස්සැල්ලාව නුවරඑළිය මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා පුස්සැල්ලාව දිසා රෝහලින් ගම්පොළ ශික්ෂණ රෝහලට යවා තිබේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ රම්බොඩ වත්ත කාච්චමලේ පදිංචි මුණසිංහ ගෙදර ජයකොඩි (39) හා කදිරවේළු බාලක්‍රිෂ්ණන් (38) දෙදෙනාය.

පුස්සැල්ලාව සිට නුවරඑළිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය මත පෙරළී ගොස් නුවරඑළිය සිට පුස්සැල්ලාව දෙසට ධාවනය වූ ටිපර් රථයක වැදීමෙන් පෙරේදා රාත්‍රියේ (26) මේ අනතුර සිදුවී තිබේ.

ඥාති නිවසක තිබු විවාහක උත්සවයකට සහභාගී වී ආපසු නිවෙස් කරා යමින් සිටි ත්‍රිරෝද රථයක පිරිසක් මේ සිද්ධියට මුහුණ පා තිබේ. පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය මේ අනතුරට හේතු වී ඇති බවයි.

ත්‍රිරෝද රථ රියදුරාට රියදුරු බලපත්‍රයද නොමැති බව අනාවරණය වී තිබේ. ගම්පොළ කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. රාජා මහත්වරුන්ගේ උපදෙස් මත පො. ප. වික්‍රමආරච්චි, උ. පො. ප. මිත්‍රසේන, පො. සැ. 31067 ජයලත්, පො. කො. 71219 දිසානායක නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා