පැය 24ට රිය අනතුරු මරණ 10ක්

පැය 24ට රිය අනතුරු මරණ 10ක්

ගතවූ පැය විසි හතර ඇතුළත දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දස දෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා තිබේ. මොරටුව, ඇහැළියගොඩ, සමන්තුරේ, හොරණ, රුවන්වැල්ල, ගොකරැල්ල, ගම්පහ, ගම්පොළ, පුස්සැල්ලෑව ප්‍රදේශ වලදී මේ අනතුරු සිදුවී ඇති බව පොලිස් මූලස්ථානයේ මහජන සම්බන්ධතා අංශය සඳහන් කරයි.

මේ අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇත්තේ යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදී බවද පොලිසිය කියයි. ඇහැලියගොඩදී සිදුවූ අනතුරෙන් මියගොස් ඇති පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

පුස්සැල්ලෑව ප්‍රදේශයේදී අනතුරට පත්ව ඇත්තේ ටිපර්රියක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙනි.එහිදී ත්‍රිරෝද රියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති බව පුස්සැල්ලෑව පොලිසියේ නිලධාරියෙකු දිනමිණට පැවසීය.

දිනෙන් දින වැඩිවෙන අනතුරු අවම කිරීම සදහා රියදුරන් සහ පදිකයන් සහාය විය යුතු බවත් මාර්ග නීති රීති නිසියාකාරව පිළිපදින්නේනම් අනතුරු වළකාලිය හැකි බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා