මුද්‍රණය සඳහා

 
ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් වැරැදිකරුවෙක්

ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් වැරැදිකරුවෙක්

ලෝක අධිකරණයක් තීන්දු කරයි

ඓතිහාසික තීන්දුව අමෙරිකාවේ පැසසුමට

ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් සියරා ලියොන් හිදී දහස් ගණනක් මරා දැමීමට සහ අත් පා කපා දැමීම සදහා කැරලිකරුවන්ට ආයුධ සැපයීම සම්බන්ධයෙන් වැරදිකරු බවට බ්‍රහස්පතින්දා ලෝක අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබීය. මෙය ජාත්‍යන්තර වශයෙන් ලබා දුන් ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ .

විප්ලවකාරී එක්සත් කැරළිකාර පෙරමුණ (RUF) සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියා මිනිස් ඝාතන සහ ලිංගික අපචාර ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව තිබූ සියලුම චෝදනා වලට ඔහු වැරදිකරු බව අධිකරණය තීන්දුකර ඇත .

දසකයකට අධික කාලයක් සියරාලියොන් හි දිග්ගැස්සී තිබූ සිවිල් යුද්ධයේ දී අත් පා කපා දැමූ අය සහ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ සියරා ලියොන් ජාතිකයන් මෙම තීන්දුව අසා ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ බව වාර්තා වේ .

මේ අතර ටේලර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නඩු තින්දුව ලබා දී ඇත්තේ මිලදී ගත් සාක්ෂි මත බවට චෝදනාකර තිබේ . නඩු තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ දී හිටපු ජනාධිපති ටේලර් ඊට සාවධානව සවන් දුන් බව සඳහන් .

64 හැවිරිදි ටේලර්ට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා නොදෙනු ඇති වුවත් ඔහුගේ ඉදිරි ජීවිත කාලය සිපිරි ගෙයි ගත කිරීමට සිදුවන අන්දමේ දඬුවමක් ඔහුට හිමිවනු ඇතැයි අධිකරණ ආරංචි මාර්ග පවසයි. මෙම ඓතිහාසික තීන්දුව පැසසුමට භාජනය කර ඇති ඇමෙරිකාව පවසා ඇත්තේ එමගින් සිය ලුම යුද අපරාධකරුවනට ප්‍රබල පණිවුඩයක් ලබා දෙනු ඇති බවයි .


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]