නයිජීරියාවේ පුවත් පත් ආයතනයකට මරාගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාරයක්

නයිජීරියාවේ පුවත් පත් ආයතනයකට මරාගෙන මැරෙන ‍බෝම්බ ප්‍රහාරයක්

නයිජීරියාවේ අබුජා අග නගරයේදී එරට ප්‍රමුඛ පුවත් පත් ආයතනයකට පෙරේදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය. ඊට අමතරව එම ආයතනයේම තවත් කාර්යාලයක් අබියස රිය බෝම්බයක් පුපුරුවාලීමට ප්‍රයත්න දරා ති‍බේ.

මේ සිද්ධි දෙකේදී පුද්ගලයන් 9දෙනකු ඝාතනය වී ඇත.මෙය එරට මාධ්‍යයට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය ලෙස හැඳින්වී තිබේ. මේ දෙවන ප්‍රහාරය එල්ලවී තිබුණේ එදිනම සවස් යාමයේ කඩුනා නගරයේදීය. මීටත් අමතරව තෙවැනි බෝම්බයක්ද මේ නගරයේදී පුපරා යාමෙන් තිදෙනකු තුවාල ලබා තිබිණ.

නයිජීරියාවේ අබූජා හි දිස්ඩේ පුවත්පත් කාර්යාලය බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ඇති අයුරු.

අබුජා ප්‍රහාරය එල්ලවී තිබුණේ ‘දිස්ඩේ ‘නම් පෞද්ගලික පුවත්පතේ ප්‍රධාන කාර්යාලයටය. මරාගෙන මැරෙන බෝම්බකරු අදාළ ගොඩඟිල්ලේ පසු පසට සිය රිය ධාවනය කර තිබිණ.  මේ ප්‍රහාරයෙන් බෝම්බකරු ඇතුළු පස්දෙනකු ඝාතනය වී ඇත.තවත් අට දෙනෙක් එහිදී තුවාල ලැබූහ.

උතුරේ කඩුනා නගරයේ ‘දිස්ඩේ” පුවත්පත ඇතුළු තවත් පුවත්පත් කීපයකට අයත් කාර්යාල සංකීරණයකට ද රිය බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය. ප්‍රහාරකයා සියබෝම්බ රිය, සංකීර්ණ පරිශ්‍රයට පදවා ගෙනවිත් තිබිණ.එහිදී සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව දහනම දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් කියා ඇත.

රහස් පොලීසිය පවසන්නේ කඩුනා ප්‍රහාරයට දෙදෙනකු පැමිණ ඇති අතර පලායෑමට තැත් කළ දෙවැන්නා අවට සිටියවුන් විසින් අල්ලා ගෙන බලධාරීන්ට බාරදී ඇති බවය. ඔහු බෝකෝ හරාම් ඉස්ලාමීය සංවිධෘනයට අයත් වූවෙකු බව සොයාගෙන ඇත.

බෝකෝහරාම් සංවිධානයට එරෙහිව කතා පැතිරවීම සඳහා බලධාරීන්විසින් පුවත්පත් ආයතන යොදාගන්නා බව පවසමින් එවන් ආයතන වලට පහර දෙන බවට ඔවුන් මීට කලින් අනතුරු අඟවා තිබිණ.

‘දිස්ඩේ ‘පුවත්පතේ කර්තෘමණ්ඩල ප්‍රධානී පවසා ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරු ජීප්රියකින් පැමිණි අතර ආරක්ෂකයන් ඔහුට දොරටුව විවර කර දීමෙන් පසු ඔහු රිය පදවාගෙන විත් ගොඩනැඟිල්ලේ හප්පන ලද බවය.එහිදී මියගියවුන් අතර ආරක්ෂකයකු හා අසලින් ගමන්ගත් තිදෙනකු ද සිටින බව වාර්තාවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා