ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

උදා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වෙත ඊයේ (06) පෙරවරුවේ පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේ ය.

දළඳා සමිඳුන් උදෙසා සමන්පිච්ච මලින් පිරි බන්දේසියක් සමඟින් අටපිරිකර පූජා කළ ජනාධිපතිතුමා මෙත් සිත් පෙරදැරිව ආගමික වතාවත්හි නිරත විය. ඉන් අනතුරුව දළදා මාලිගාවේ තේවාව භාර පූජ්‍යපාද තිබ්බුටුවාවේ මේධංකර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතේ පිරිත් නූලක් ද ගැට ගසා ඉදිරි ගමන් මඟ වෙනුවෙන් ආශීර්වාද පළ කිරීම ද සිදුවූයේ ය.

සම්බුදු තෙමගුල බැතිබරව සමරමින් දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණි සුවහසක් බොදු බැතිමතුන් සමඟින් මෙන්ම, වෙසක් පෝදා අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන් වූ සිල්වත් පිරිස සමඟ මෙහිදී ජනාධිපතිතුමා මොහොතක් කතා බහ කරන්නට ද එක්විය.

පසුව මෙවර වෙසක් දින රාජ්‍ය උත්සවය පැවැත්වෙන දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මහමළුව අභියසට පැමිණි ජනාධිපතිතුමා, එහි සූදානම සම්බන්ධයෙන් ද කටයුතු සොයා බැලීය.

මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා