ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මෙවරත් මහත් උත්සව සිරියෙන්

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය මෙවරත් මහත් උත්සව සිරියෙන්

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බැතිබර දායකත්වයෙන් 22 වන වරටත් සංවිධානය කළ අමාදහර සදහම් වෙසක් කලාපය මෙවරත් මහත් උත්සව සිරියෙන් බුදු තෙමඟුල සිදුවූ අසිරිමත් වෙසක් පුන් පෝදා (05) ලේක්හවුස් මන්දිරය අසලදී විවෘත විය.

ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රෙග් යංග්, එම මහත්මිය හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිලන්ති ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙරේදා (05) වෙසක් කලාපය විවෘත කළහ.

වසරක් පාසා ලේක්හවුස් ආයතනය බුදු තෙමඟුල සැමරුම් වස් අමාදහර සදහම් වෙසක් කලාපය සඳහා මෙවරත් නේක වර්ණයෙන් සැරසූ දර්ශනීය වෙසක් සැරසිලි 53 ක් පහන් කූඩු තරගය සඳහා තෝරාගෙන තිබිණි. එම දර්ශනීය වෙසක් සැරසිලි 05,06,07 තෙදින පුරා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබේ.

ලේක්හවුස් සේවක සේවිකාවන් සහ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ භක්ති ගීත ප්‍රසංගයක් මෙන්ම කොත්තමල්ලි දන්සලක් ද අමාදහර වෙසක් කලාප පරිශ්‍රයේදී මහත් හරසරින් පැවැත්වේ.

වෙසක් පහන් කූඩු තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා වෙසක් කූඩුව සඳහා රුපියල් 250000 ක්, දෙවන ස්ථානයට රුපියල් 150000 ක්, තෙවන ස්ථානයට 100000 ක්, සිව්වන ස්ථානයට රුපියල් 50000 ක්, පස්වන ස්ථානයට රුපියල් 25000 ක්, හයවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් 15000 බැගින් හා එකළොස් වන ස්ථානයේ සිට පහළොස් වන ස්ථානය දක්වා රුපියල් 10000 බැගින් ලබාදීමට ලේක්හවුස් ආයතනය කටයුතු යොදා තිබේ.

වැඩබලන ජනමාධ්‍ය ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් අමාදහර සදහම් වෙසක් කලාපය ඊයේ (06) විවෘත කෙරුණු අතර ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා අතින් වෙසක් කලාපය අද (07) විවෘත කිරීමට නියමිතය. වෙසක් උත්සවය නිමිත්තෙන් වසරක් පාසා පවත්වනු ලබන අමාදහර සදහම් ;වසක් කලාපය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වා ඇති අතර දෙරණ ටී. වී, දෙරණ එෆ්. එම්. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වා ඇත.

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකරමින් අනුග්‍රහය දැක්වූ ආයතනවලට හා වෙහෙස මහන්සි වූ පිරිස් හට ස්තූතිය පුදකළේය.

මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආර්යරත්න, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත්, බෙදාහැරීමේ කළමනාකරු සුනිල් සෙන්දනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) වරුණ මල්වආරච්චි, සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු ලේක්හවුස් ආයතනයේ හා ටෙලිකොම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා