ගුණදම් පිරි දරු පිරිසක් බිහිකිරීමට වැඩිහිටියන්ගේ දයකත්වය අත්‍යවශ්‍යයි

ගුණදම් පිරි දරු පිරිසක් බිහිකිරීමට වැඩිහිටියන්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි

බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරමින් ජනපති කියයි

අපේ දරුවන් සාරධර්මවලින් පිරි පරපුරක් කිරීම රජයකට කරන්න බැහැ. එය කළ හැක්කේ වැඩිහිටියන්ටත් මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකතුමන්ලාටත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) හුනුපිටිය ගංගාරාමයේ පැවති බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

පුරා දින 07ක් තිස්සේ පැවැත්වෙන මේ මනරම් වෙසක් කලාපය ගංගාරාමය සහ ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අද මේ රටේ මිනිසුන්ට නිදහසේ ජීවත් වන්නට ආගම අදහන්නට හැකිවෙලා තියෙනවා. ලක්ෂ ගණනින් පාරට බැහැලා තම ආගමික උත්සවවලදී නිදහසේ ආගමික වතාවත්වල යෙදෙනවා.

වසර කීපයක් තුළ තරුණ පරපුර දහමට යොමුකළා. රටේ ආගමික සමඟිය ඇතිවුණාම ජාතික සමඟිය ඇතිකිරීම අමුතුවෙන් කළ යුතු නැහැ. එය ඉබේම සිදුවෙනවා.

අපි මොන තරම් රට සංවර්ධනය කළත් තරුණ පරපුර සාරධර්ම පිරි පරපුරක් නොවුණොත් අප කරන සංවර්ධනයෙන් ප්‍රයෝජනයක් නැහැ.

අප සියලු දෙනාගේම වගකීමක් තියෙනවා අපේ දරුවන් සාරධර්මවලින් පිරුණු පරපුරක් කිරීමට. එය රජයකට කරන්නට බැහැ.

මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකතුමන්ලාට, දේශපාලන නායකයන්ට හැම තරාතිරමකම අයට වගකීමක් තියෙනවා අපි කුමන ආගමක හිටියත් වැඩිහිටියන්ට ගරු කරන පන්සලට, පල්ලියට, කෝවිලට යන ආගමික ඇදහීමක් ඇති සමාජයක හොඳ නරක හඳුනන දරු පිරිසක් ඇති කිරීමට. අපි ඒ සමාජ යහපත කරන බවට අදිටන් කරගත යුතුයි.

මෙවැනි ලස්සන වෙසක් කලාපයක් ඉදිකිරීම පිළිබඳ ගංගාරාමාධිපති පොඩි හාමුදුරුවන් වහන්සේටත් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසිය ඇතුළු සහාය දුන් හැමටත් ස්තූතිය පුද කරන බවද ජනාධිපතිතුමා පැවසීය.

මේ උත්සව අවස්ථාව සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සහ පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු ද එක්වූහ.

බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 06 වැනිදා සිට පුරා දින 07ක් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා