ජෝර්දාන කඳවුරක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17ක් මේ සතියේ මවු බිමට

ජෝර්දාන කඳවුරක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17ක් මේ සතියේ මවු බිමට

ශ්‍රී ලංකාවට යළි පැමිණීමේ බලාපොරොත්තුවෙන් ජෝර්දානයේ තාවකාලික කඳවුරක රැදී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙන් 17 දෙනකු මේ සතිය අවසන් වීමට ප්‍රථම මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විවිධ හේතූන් මත ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු ගැටගලු වලට මුහුණදී සිටින අතර ඒ සියලු දෙනාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන තිබෙන බවද ඒ සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට කම්කරු අමාත්‍යාංශයේ සහයෝගය මේ වෙනුවෙන් ලබාගෙන තිබෙන බවද එම කාර්යාංශය සදහන් කරයි. මේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගැටලු සියල්ල නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “දිනමිණ” ට පැවසීය.

රැකියා සදහා ජෝර්දානයට යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතුරෙන් විවිධ කරදර, හිරිහැරවලට ලක්වන සහ නීතිමය ගැටලුවලට මුහුණ දෙන ශ්‍රමිකයන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන සහන කඳවුරක රඳවා තැ‍බේ.ඔවුන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන්වූ වහාම යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ශ්‍රමිකයන්ට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීමට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

කෙසේ වුවද මේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අතරින් 14 දෙනෙකු සිය සේවා ස්ථානවලින් පැනගිය බවට ඔවුන්ගේ සේවා දායකයන් විසින් පොලීසියට පැමිණිලි කර තිබෙන බවද එම ගැටලුව විසඳීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් අදාළ පොලිස් ස්ථානවලට බාරදී තිබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා