අපේකම අපේ දෙය අමතක නොකර පෙරට යාම තරුණ පරපුරේ හා මවුපියන්ගේ වගකීමක්

ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන් ලේක්හවුසිය විශිෂ්ට සේවයක් කරනවා

ඇමැති ලක්ෂ්මන් යාපා කියයි

ලේක්හවුස් ආයතනය ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන් විශිෂ්ට සමාජ මෙහෙවරක් ඉටුකරන පුවත්පත් ආයතනයක් බව වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

වෙසක් පොහොය, පොසොන් පොහොය ඇතුළුව සෑම අවස්ථාවකදීම පුවත්පත් ආයතනයක් වශයෙන් ලේක්හවුස් ආයතනය තම වගකීම සහ මෙහෙවර මැනවින් ඉටුකර තිබෙන බවද ඒ මහතා සදහන් කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් කෙළේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) සංවිධානය කළ “අමාදහර” වෙසක් සදහම් කලාපයේ දෙවැනි දිනය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (06) පැවැති උත්සවය අමතමිනි.

ලේක්හවුස් ආයතනය 22 වැනි වරටත් සංවිධානය කළ “අමාදහර” වෙසක් සදහම් කලාපය පෙරේදා (05) ආරම්භ කෙරුණු අතර වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, බොදුබැති ගී ප්‍රසංග හා දන්සල් සමඟින් සම්බුදු තෙමඟුල ආලෝකවත් වෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වන මේ උළෙල වෙනුවෙන් දෙරණ මාධ්‍ය ආයතනය විද්යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි තරග කරුවන් 54 දෙනකු වෙසක් පහන් කූඩු ඉදිරිපත්කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කළේ ලේක්හවුස් ආයතනය මඟින් වසර 22 ක් මේ “අමාදහර” වෙසක් සදහම් කලාපය පවත්වා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ලේක්හවුස් සමස්ත කාර්ය මණ්ඩලයට තම ස්තුතිය පළ කරන බවත්ය.

වෙසක් උත්සවය නිමිතිකරගෙන මෙන්ම වසර 50 කට වැඩි කාලයක් පොසොන් පොහොය නිමිතිකරගෙන “මිහින්තලා ආලෝක පූජාව“ සංවිධානය කරන බව සිහිපත් කළ ඇමැතිවරයා වසර තුªනක පමණ කාලයක සිට “අමාදහර” වෙසක් සදහම් කලාපය නිදහසේ නැරැඹීම සදහා අවස්ථාව ලැබී තිබෙන බවද අවධාරණය කෙළේය.

රටේ පැවැත්ම හා ආරක්ෂාව බුද්ධ ධර්මය මත බැඳී තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා අපේ රටේ ජනතාව එය හොඳීන් අදහන බවද අවශ්‍ය අවස්ථාවන්හිදී අපේ රට බේරා ගැනීම සදහා බුදු දහමේ ආශිර්වාදය ලැබී තිබෙන බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතා සදහන් කළේ වසර 22 කට පෙර ලේක්හවුස් “අමාදහර” වෙසක් සදහම් කලාපය ආරම්භ කළ නමුත් නිදහසේ මෙය නැරැඹීම සදහා දසතින් පිරිස් පැමිණියේ වසර තුනක් වැනි කෙටි කාලයක් පමණක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශිෂ්ට නායකත්වය මත ඒ අවස්ථාව උදාවී තිබෙන බවත්ය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාධව මඩවල, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රෙග් යැංග් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා