සුද්දා පැය හතෙන් ගිය 18 වංගුව අපි එක හුස්මට පැය 2න් යනවා

පදික මංතීරු අනිවාර්යයයි

දරු පරපුරට අලුත් ලොවක්

යටිතල පහසුකම්වල විප්ලවීය වෙනසක්

සුද්දා පැය හතෙන් ගිය 18 වංගුව අපි එක හුස්මට පැය 2න් යනවා

18 වංගුව පාර ජනතාවට පවරමින් ජනපති කියයි

පැය හතක්, අටක් එදා මහනුවරින් මහියංගනයට යන්න ගත වුණා. අද පැය එකකින් දෙකකින් ගමන යන්න පුළුවන්. අපි මේ සම්පත් ලබා දුන් විට ජනතාවට විශාල පහසුවක් අත් වෙනවායැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රුපියල් මිලියන පන්දහස් දෙසීයකට අධික මුදලක් වැයකොට ඉදිකළ මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගය ජාතියේ ප්‍රයෝජනයට පත්කිරීමේ උත්සවයේ දී ජනාධිපතිතුමා මෙසේ පැවැසීය.

මින් මතුවට මංමාවත් තැනීමේ දී පදිකයන්ගේ ප්‍රයෝජනය සඳහා පාර දෙපැත්තේම පදික මං තීරු ඉදිකිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්නැයි ද ජනාධිපතිතුමා පැවසීය.

18 වංගුව මාර්ගය ජාතියේ ප්‍රයෝජනය සඳහා භාර කිරීමේ උත්සවයට පෙර තමා නිලධාරීන්ට එම නියෝගය කළ බව ජනාධිපතිවරයා කීය.ඓතිහාසික සෙංකඩගල පුරවරයත්, මහියංගණය පුරවරයත් පමණක් නොව මධ්‍යම, ඌව, නැඟෙනහිර පළාත් ඒකාබද්ධ වන සුපිරි පහසුකමක් ජනතාවට ලබාදුන් මේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2008 දීය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රට පුරා මංමාවත්, විදුලිබල, පානීය ජලය, ජලාශ ඉදිකිරීම් ඇතුළු ආර්ථික යටිතල පහසුකම්වල විප්ලවීය වෙනසක් සිදු වී ඇතැයි මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, අද සංවර්ධනයේ ප්‍රතිලාභ ගමේ නගරයේ ජනතාවට එක සේ ලැබී ඇතැයි ද කියා සිටියේ ය.

ගමේ කෙනෙක් රටේ රාජ්‍ය නායකත්වයට ආ නිසා මෙවන් සම්පත් ප්‍රමාණයක් රට වැසි ජනතාවට ලැබුණු බව ද කී ජනාධිපතිතුමා, කොළඹ නගරයේ ජීවත්වෙන පිරිසක් භුක්ති විඳීන පහසුකම් ඈත පිටිසර ගම්මානවල ජීවත්වෙන පිරිසට ද ලබා දීම තම අරමුණ බව පැවසීය.

අධිවේගී මාර්ග, කාපට් මාර්ග, කොන්ක්‍රීට් මාර්ග යනාදිය සෑම ගමක් නගරයක් පාසා ඉදි කළ බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ඒ අනුව අද අපේ රට කුඩා වී ඇතැයි ද සිතෙන බව කීය. “කාලය ඉතාම වටිනවා. අපි අඩු කාලයකින් රටේ එහා මෙහා යෑමට හැකි වන ලෙස මාර්ග පද්්ධතිය දියුණු කරනවා. ඒ වාගේම අලුත් ලොවක් අපේ දරු පරපුරට උරුම කර දෙනවා. මේ සම්පත් එම අලුත් ලොවට ඔබ රැගෙන යෑමට අප ලබාදෙන දොරටුවයි රාජපක්‍ෂ මහතා කීය.”

දහ අට වංගුව එදා ගමන් කිරීමට අමාරු වූ මාර්ගයක්. සුද්දාගේ කාලයේ කෝපි ප්‍රවාහනය කරන්නයි මෙය හැදුවේ. එදා මෙදාතුර මේක හදන්න කොයිම ආණ්ඩුවක්වත් ක්‍රියා කළේ නෑ. අපි මේ හැදුවේ කෝපි කාලේ පාරක් යැයි ද ජනාධිපතිවරයා කීය.

පැය හතක්, අටක් එදා මහනුවරින් මහියංගනයට යන්න ගත වුණා. අද පැය එකකින් දෙකකින් ගමන යන්න පුළුවන්. අපි මේ සම්පත් ලබා දුන් විට ජනතාවට විශාල පහසුවක් අත් වෙනවා. මේ සම්පත් ජාතික දේපොළ. මේවාට වටිනාකමක්, අගයක් එක්විය යුතුයි. මේවා ජාතික සම්පත් නිසා පරිහරණය කරන විට නාස්ති කිරීම නොකළ යුතුයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ද ජනතාව ඇමතුවේ ය.

මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, මධ්‍යම පළාත් සභා ඇමැතිවරු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

18 වංගුව මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජන හමුව උඩුදුම්බර ද්විතීයික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා