මඟුල් ගෙදරකදී මිතුරෙක් පියසෝමගේ ලිපිනය තරුණියකට දීලා

මඟුල් ගෙදරකදී මිතුරෙක් පියසෝමගේ ලිපිනය තරුණියකට දීලා

බිරිය පරලවී ගෙදර ගිහින්

මැදිවිය ඉක්මවමින් සිටි පියසෝම රජයේ කාර්යාලයක ලිපිකරුවෙකි. මිතුරකුගේ දියණියක් විවාහ වීමේ උත්සවයක් සදහා පියසෝමගේ කාර්යාලයේ සියල්ලන්ටම ආරාධනා ලැබිණි. කාර්යාලයේ හිතමිතුරන්ටද මෙතැනදී විශේෂත්වයක් ලැබෙන බැවින් කැපී පෙනෙන ලෙස ඊට සහභාගි වීමට සියල්ලෝම මූලිකත්වය ගත්හ.

පියසෝමට අලුත් සුට් එකක් සකස් කරගත යුතුව තිබෙන බැවින් බිරියගේ සීට්ටුවක මුදල් ඒ සඳහා ඉල්ලා ගැනීමට ඔහුට හැකි වූයේ කීපවරක් ඇවිටිලි කිරීමෙන් අනතුරුවය. ඒ ඊළඟ මාසයේ පඩි දිනයට අමතර මුදලක්ද සමග එය පියවීමේ පොරොන්දුව පිටය. අනෙක් අඩුපාඩුද කෙසේ හෝ සකසා ගත් පියසෝම උජාරුවට සැරසී මගුල් ගෙදර යන සැටි බිරිය බලා සිටියේ ආශාවෙනි.

මගුල් ගෙය නිමා වී සතියක් යන්නටත් පෙර මුතු අත්අකුරින් පියසෝමගේ නමට ලිපියක් ලැබිණි. අත්අකුරු කාන්තාවකගේ බව හඳුනාගත් ඕ එය කඩා බැලුවාය. ලිපියේ ආමන්ත්‍රණයෙන්ම වැඩේ දිග පළල හඳුනාගත් ඇය දත් මිටි කමින් ලිපිය දෙතුන්වර කියෙව්වාය. මගුල් ගෙදරදී සැමියා සමග හාද වූ තරුණියක විසින් එවන ලද මේ පෙම්පත අතේ තබාගෙනම ඈ දත් මිටි කමින් දොරකඩ සිටියේ සැමියා නිවෙසට එන තුරුය. හැන්දෑ අඳුර ගලන විට පුරුදු පරිදි පාන් ගෙඩියක් එල්ලාගෙන ඉස්තෝප්පුවට ගොඩ වූ පියසෝමට එළිපත්තෙන් එහාට යාමට අවසර නොලැබුණි.

බෙලිකටුමල්ල හොල්ලමින් බිරිය පියසෝමගේ ඇඟට කඩා පැන්නාය. ඔහුට වචනයක් හෝ කියන්නට ඉඩක් නැත. ප්‍රශ්නත් පිළිතුරත් ඇගේමය. උඩ බලා සිටි පියසෝම අවසානයේ ලත් අවසරයෙන් කරුණු විචාළේය. නිර්දෝෂීභාවටය කොපමණ කරුණු කීවත් ඵලක් නැත. සිදුවූයේ කුමක්දැයි පියසෝම කල්පනා කළේය.

පසුවදා උදේ බිරියගේ කන්දොස්කිරියාව මිස තේ කෝප්පයක් වත් නොලත් පියසෝම අතර මග කඩයකින් තේ බී වැඩට ගියේය. මානසික පීඩාවකින් දවස ගෙවා දැමු ඔහු සවස ගෙදරට ගියේ වෙන යා යුතු තැනක් නොවූ බැවිනි. ලිපියක් ලියා බිරිය මහගෙදරට ගොස් ඇත්තේ යළි නොඑන අදහසිනි. ඉවසාගෙන සිටිය නොහැකි තැන ඔහු මේ සිද්ධිය මිතුරන් හමුවේ හෙළි කළේය. මින් මහත් කනගාටුවට පත් මිතුරන් කීප දෙනෙකු මහ ගෙදරට ගොස් පියසෝමගේ බිරිය මුණ ගැසීමට සූදානම් වූයේ එයට වගකිවයුත්තන් ඔවුන් බව දැන සිටි හෙයිනි.

මගුල් ගෙය දවසේ තරුණ මිතුරකු තරුණියකට දී ඇත්තේ පියසෝමගේ ලිපිනයයි. ඒ ගැන පියසෝමට පැවසීමට අමතකව ගිය නිසා මේ අකරතැබ්බය සිදුවී ඇති බව පැවැසීය. තරුණිය සිතාගෙන ඇත්තේ පියසෝම යනු පෙම්වතාගේ නම බවයි. කරුණු පැහැදිලි කිරීමෙන් පසු පියසෝමගේ බිරිය නැවත නිවෙසට ගියාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා