මුද්‍රණය සඳහා

 
තනි රටක කලාවක් ගැන  මගේ විශ්වාසයක් නෑ

තනි රටක කලාවක් ගැන  මගේ විශ්වාසයක් නෑ

මාලක දේවප්‍රිය බහුචිතවාදියා චිත්‍රපටය ගැන කතා කරයි

වේදිකා හා ගුවන් විදුලි නාට්‍යකරුවෙක් ලෙස කලාවට ප්‍රවේශ වන මාලක දේවප්‍රිය, සිය අනන්‍යතාව වඩාත් තහවුරු කරගත්තේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසය. ලාංකේය සිනමාවේ අනාගත හැඩය නියෝජනය කරන මෙම තරුණ සිනමාකරුවා සමඟ අප කළ සංවාදය මෙසේය.

සමකාලීන රේඩියෝ නාට්‍ය කලාව ඔබ දකින්නේ කුමන ආකාරයටද ?

සමකාලීන ලංකාවේ තිබෙන ගුවන් විදුලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය ලෙස පෙන්වා දෙන්න බැහැ. සුගතපාල සිල්වාගේ “ හඬ නළුව” රේඩියෝ නාට්‍ය කෘතියෙන් ඔහු ඒ ගැන බරපතළ විශ්ලේෂණයක් කරනවා. ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයාගේ පරිකල්පනය අවධි කළයුතු බවත් කෙටිකතාවකට දෙබස් යෙදුවාට රේඩියෝ නාට්‍යයක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

එක රූපයක් වචන දාහක් වටිනවා වගේම එක වචනයක් රූප දාහක් වටිනවා කියලා කතාවක් තියෙනවා. වචනයකට ඒතරම්ම වටිනාකමක් හිමිවෙනවා. නමුත් අද පවතින ගුවන් විදුලි නාට්‍ය තුළින් මේ දේවල් දකින්න අමාරුයි.

ඔබ කලාවට පිවිසෙන්නේ නාට්‍ය කලාවේදියෙක් හැටියට. නමුත් අද වෙද්දි ඒ දේවල් අත හැරලා සිනමාව පැත්තට යොමු වෙලා ඉන්නේ ඇයි?

මම නාට්‍ය කලාව අතහැර නෑ. අද වෙද්දී කලාව ජාත්‍යන්තරීකරණය වෙලා. තනි රටකට කොටු වූ කලාවක් ගැන මගේ විශ්වාසයක් නැහැ. මම ගොඩක් කැමතියි අනෙක් අය නොකරපු කලා මාධ්‍යයක යෙදෙන්න. අද නාට්‍ය දර්ශන වාර දහයක් පෙන්නුවත් ඒක බලන්න එන්නේ හිතවත්ම කිහිපදෙනෙක් විතරයි. ලංකාව වගේ රටවල සාමාන්‍ය ජනතාව අතරට කලා මාධ්‍ය ගෙනි යන්න හරි අමාරුයි. නමුත් මම නාට්‍ය කලාව අතහැරලා නෑ.‘ උගේ හිස ඉවරයි’ කියලා මම ගුවන්විදුලි නාට්‍යයක් එළිදක්වලා තියෙනවා. තාමත් ගුවන්විදුලි නාට්‍ය රචනා කරනවා. ඊළඟ අවුරුද්දේ තව ග්‍රන්ථයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ මෙතෙක් කරලා තිබෙන කෙටි චිත්‍රපට පිළිබඳව කීවොත්?

මට ලොකු උවමනාවක් තිබ්බා කෙටි චිත්‍රපටයක් කරන්න. මුල්කාලයේ මම කෙටි චිත්‍රපට ක‍ෙළ් රුපියල් පන්සීයක්වත් අතේ නැතිව පොඩි හැන්ඩි කැම් කැමරාවකින්. 1998 මම මුල්ම කෙටි චිත්‍රපටය කළා.

ඒ “ සම්මාන රූප” ට්‍රාන්ස්පේරන්ට්ස් කෙටි චිත්‍රපටය කරද්දී මට රුපියල් 8000ක් විතර වියදම් වුණා. 2001 දී මම ‘ ලයිෆ් සර්කල්’ කෙටි චිත්‍රපටය කළා. මේ වෙද්දී කෙටි චිත්‍රපට නවයක් කරලා තියෙනවා.

ඉතාලිය, ඉන්දුනීසියාව, ද . කොරියාව, ඉන්දියාව වගේ රටවලට මං මේවා රැගෙන ගොස් පෙන්වා තිබෙනවා. මාව කෙටි චිත්‍රපටවලට යොමු කලේ ධර්මසේන පතිරාජ සිනමා කරුවායි. සිනමා මාධ්‍යයක් හැටියට කෙටි චිත්‍රපටයේ තිබෙන විභවතාවය ගැන ඔහු අපිට අවබෝධයක් ලබා දුන්නා.

ට්‍රාන්ස්පේරන්ට්ස් කෙටි චිත්‍රපටය තුළින් සියුම් අර්ථ විවරණයක් සිදුකරනවා නේ ද?

ඔව්, ට්‍රාන්ස්පේරන්ට්ස් මගින් අර්ථ විවරණයක් සිදු කරනවා. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ එහි තිබූ ප්‍රේමය, ලිංගිකත්වය ආදිය මේ තුළ ඔබ්බවලා තියෙනවා. සමාජයේ පවතින කිසියම් ගැටලුවක් තමයි ඕනෑම නිර්මාණයකට පදනම වෙන්නේ.

සමකාලීන කෙටි චිත්‍රපට තුළ ලිංගිකත්වය ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණත් ඔබ එය විෂය කරගත්තේ නැත්තේ ඇයි?

යමෙකුට අවශ්‍යයනම් ලිංගිකත්වය කලාකෘති තුළට ඈඳාගන්න පුළුවන්. ‘ කැතරින් ලියා’ වැනි සිනමාවක් ගත් විට ඒවා තුළ සම්පුර්ණයෙන්ම තියෙන්නේ ලිංගිකත්වය. ලිංගිකත්වයට සංයමයක් නෑ. මගේ ට්‍රාන්ස්පේරන්ට් කෙටි චිත්‍රපටයේ ලිංගිකත්වය තියෙනවා. මගේ අලුත් චිත්‍රපට තුළත් ලිංගිකත්වය ගැන තියෙනවා. ඒ දේ හොඳට කරන්න පුළුවන්නම් ප්‍රශ්නයක් නෑ. මමත් බොහෝ දුරට ඉදිරියට ලිංගිකත්වය ගැන කතා කරන්න පුළුවන්. ඒකට එහෙම කිසිම වාරණයක් නෑ.

ඔබගේ අලුත්ම සිනමාපටය පිළිබඳව හැඳින්වීමක් කළොත්?

මම මේ චිත්‍රපටය නම් කළේ බහුචිතවාදියා යනුවෙන්. බොහෝ අදහස් ඇති මිනිසා යන්න එහි අර්ථයයි. නමුත් අද අප ජීවත්වන සංස්කෘතික ධනවාදය හමුවේ තාක්ෂණික ගෝලීකරණය හරහා අපට හමුවන්නේ විවිධ අදහස්වලින් සන්නද්ධ පුද්ගලයින්.

එක එක පුද්ගලයාට විවිධ අදහස් තිබෙනවා. මේ චිත්‍රපටයෙන් මේ මිනිසුන් පිළිබඳ හැඳින්වීමක් කරනවා.

බහුචිතවාදියා’ යන සංකල්පය පැන නඟින්නේ මොන විදිහට ද?

වර්තමාන තරුණ පරපුරේ අරමුණු යාන්ත්‍රිකයි. ඔවුන්ටම අනන්‍යවූ දේශපාලනයක් නෑ. වැඩිදෙනාගේ සිහිනය වන්නේ හොඳ ගෙයක්, හොඳ වාහනයත්, හොඳ ජීවිතයක්. ඔවුන් උසස් කලාකෘති පරිශීලනය කරන්නේ නෑ. ද්‍රව්‍යමය විදිහට හිතන පිරිස් මාක්ස්වාදය තුළ භෞතිකවාදීන් ලෙස හඳුන්වනවා. නමුත් වර්තමාන ලෝකයේ ද්‍රව්‍යමය අදහස් පරයා යමින් බොහෝ දේවල් ගැන හිතන මිනිසුන් ඉන්නවා.

ශ්‍රී ලංකාවේ ධනවාදය වැඩෙමින් තිබු කාලයේ එනම් 1970 - 80 කාලයේ මිනිසුන්ගේ අදහස් එකට ගොනු කරගන්න පහසුයි. නමුත් අද මිනිසුන් යන්නෙ භෞතිකවාදී හෝ විඥානවාදි නොවන අතරමැදි ගමනක. බහුචිතවාදියා යන වචනය පැනනගින්නේ් මෙවැනි විවිධ අදහස්වලින් සමන්විත පුද්ගලයින් හඳුනාගැනීමට මොවුන් බහු අරමුණුවලින් යුක්තවූවන්.

‘ බහුචිතවාදියා’ සිනමාපටය රූගත කිරීමේදී යොදාගත් තාක්ෂණය මොනවගේද?

සාමාන්‍යයෙන් සිනේ කැමරාවලින් තමයි චිත්‍රපට රූගත කරන්නේ. නමුත් රෙඩ් කැමරා භාවිතයට ඒමත් සමඟ ඒ තත්ත්වය වෙනස් වෙනවා. ‘බහුචිතවාදියා’ චිත්‍රපටය රූගත කරනු ලැබුවේ රෙඩ්වන් (ෆෝකේ) කියන කැමරා එකෙන්. ඒ සඳහා මට විශේෂ වියදමක් ගියේ නෑ. මේ කැමරා දෙකම මනෝහාන්ගේ. මනෝහාන් තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. ඔහු කිසිවිටක මට බලපෑම් කලේ නෑ. මේ චිත්‍රපටයේ තිබෙන්නේ මගේ කලාව. එවැන්නකට ඉඩදීම ගැන මම ඔහුට ස්තූති කරනවා.

අප 70 වසරක දීර්ඝ සිනමා ඉතිහාසයක් ගැන උදම් අනද්දී සිංගප්පූරුව, හොංකොං වැනි පසු කාලීනව සිනමාවට එකතු වූ රටවල් අප පසුකර ඉදිරියට යාමට හේතුව කුමක්ද?

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට යාමේදී මට නිතැතින්ම අපේ සිනමාවේ දැවැන්තයන් විවේචනය කිරීමට සිදුවෙනවා. ඒ ගැන මට සමාවෙන්න. ලංකාවේ බොහෝ දෙනෙක් පොළොවේ පයගහලා චිත්‍රපට කරපු අය නොවෙයි. ධර්මසේන පතිරාජ මුල්වරට දේශපාලන අර්ථයකින් සිනමාව භාවිතා කළා. නමුත් අද බොහෝ දෙනකුට අවශ්‍යය චිත්‍රපටවල කලාව මතු කිරීමට වඩා එය වෙළඳාමක් බවට පත් කරන්නයි. කොටින්ම කීවොත් අද සිනමාව නමින් ප්‍රදර්ශනය කෙරෙන්නේ මුදල් උපයන ව්‍යාපෘති.

පතිරාජලා චිත්‍රපටි කරන්න මුදල් උපයා ගන්න විජය සමඟ එකතුව කල්පිටියේ වැල්ලේ බූරු ගහපු විත්තිය මට කියලා තිබෙනවා. පසු කාලීනව ඇල්ෆ්‍රඩ් ගොඩමාන්නලා වගේ අය චිත්‍රපටි කරන්න ඔහුට මුදල් දුන්නත් ඒවා ප්‍රමාණවත් වුණේ් නෑ. පටු අදහස්වල ඉඳලා, එක රාමුවකට කොටුවෙලා චිත්‍රපට කරන්න බැහැ. හැබැයි , මම කියන්නෑ ජාතක කතා, ඉතිහාසකතා ආදියෙන් චිත්‍රපට කරන්න බැහැ කියලා. සරච්චන්ද්‍රගේ මනමේ, නවගත්තේගමගේ “ සුභ සහ යස” ඉතිහාසය තුළින් ගොඩනැගුණ අපූරූ කලාකෘති.

ඔබගේ අලුත් චිත්‍රපටය ජනතාව අතරට ගෙන එන්නේ කොයි කාලයේ ද?

ජුනි මාසයේ දී විතර මේ චිත්‍රපටය මාධ්‍යයට පෙන්නනවා. නමුත් ජනතාව අතරට ගෙන එන්න නම් තව ටිකක්කල් ගතවෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]