මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා රට ලයිසන් තියෙන වාහනයක් වගෙයි

මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා රට ලයිසන් තියෙන වාහනයක් වගෙයි

ආචාර්ය සරත් අමුණුගම

අන්තර් ජාතික මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට, ගත වු තුන් වසර තුළ ආර්ථික නිදහස දිනා ගැනීම සඳහා යොමු වී ඇත්තේ කෙසේදැයි සහ එහිදී ජාතික සහ අන්තර් ජාතික වශයෙන් ජය ගතයුතු අභියෝග පිළිබඳත්, රටක් වශයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් අන්තර් ජාතික මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම සමඟ කළ සංවාදයකි මේ.

l ත්‍රස්තවාදය පරාජය කර වසර 3ක් ගතවෙමින් තිබියදී, ආර්ථික වශයෙන් ද රට ගොඩනැඟීම දෙසට රජය යොමුවී තිබෙනවා. උතුර සහ නැඟෙනහිර දායකත්වයද විමසමින්, මේ ක්‍රියාවලිය පෙරට යමින් ඇති ආකාරය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

උතුරේ සහ නැඟෙනහිර ත්‍රස්තවාදය තුරන් කිරීම නිසා, යුද්ධය අවසන් වී වසර තුනක් සම්පූර්ණ වෙනවා. මේ කාලය තුළ රටක් හැටියට අපට විවිධ අත්දැකීම්වලට මුහුණපෑමට සිදුවුණා. සමහර ඒවා ප්‍රියජනකයි. තවත් ඒවා එතරම් ප්‍රියජනක නෑ. ගෙවී ගිය තුන් වසර දෙස ආපසු හැරී බලනවිට අප දකින ප්‍රධාන දෙය තමයි, යුද්ධය අවසන් කිරීම මගින් එක රටක් හැටියට ආර්ථික සංවර්ධන මාර්ගයට එක්වීමට හැකිවීම. යුද්ධය තිබියදී උතුර සහ නැඟෙනහිර ප්‍රදේශ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවේ සෙසු කොටස් සමඟ බද්ධව තිබුණේ නෑ.

යුද්ධය ඇරැඹීමට කලින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වඩාත්ම ඵලදායි පළාත් හැටියට එම ප්‍රදේශ පැවැති බව අප මතක තබාගත යුතුයි. වී නිෂ්පාදනය පමණක් නෙවෙයි, ලුණු, මිරිස්, එළවුළු වැනි දේ ඉතා සාර්ථකව එම දිස්ත්‍රික්කවල වගා කෙරුණා. එම ප්‍රදේශවල වාරිමාර්ග පද්ධතිය වෙනුවෙන් මුළු රටම විශාල වියදමක් දැරුවා. ගල්ඔය ආදී ව්‍යාපාර ඔස්සේ විශාල ලෙස රටේ ධනය වැය කර, නැඟෙනහිර කලාපය ධාන්‍යාගාරයක් බවට හැරවුවා. උතුරේ අසීරුතා මැද ආඬි ළිං යොදා ගනිමින් නොයෙක් අතිරේක බෝග වගා කළා.

බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වඩාත් සුබදායක ප්‍රතිචාරයක් දැක්වු උතුරේ ගොවීන්, එතුමිය වීරවරියක් ලෙස තමයි පිළිගත්තේ. ජනාධිපතිවරණය සඳහා කොබ්බෑකඩුව මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා තරග කළ අවස්ථාවේ, උතුරේ ඡන්ද වැඩියෙන් ලැබුණේ කොබ්බෑකඩුව මහතාට බව අප අමතක නොකළ යුතුයි. ඒකට හේතු වුණේ මේ ප්‍රදේශවල ඇති කළ කෘෂිකාර්මික දියුණුවයි. ඒ කෘෂිකාර්මික දියුණුව ශ්‍රී ලංකාවේ සෙසු පළාත් සමඟත් බද්ධ කළාම, රට තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් දකින්න තිබෙනවා.

අද වනවිට සහල් පිටරට යැවිය හැකි තත්ත්වයක් උදාවෙලා. ලූණු, මිරිස්, අල එළවුළු වැනි දේ අපේ රටට අවශ්‍ය ප්‍රමාණය වගා කරගත හැකියි. කලින් කලට දේශගුණික හේතූන් නිසා වන බලපෑම් හැරුණු කොට, මේ සෑම පැත්තකින්ම වගේ අපි ස්වයංපෝෂිතයි.

දැන් ඇති ප්‍රශ්නය නිෂ්පාදනය නෙවෙයි, ගබඩා කිරීම සහ බෙදාහැරීමයි. ගොවීන් කියනවා ලැබෙන මිල මදි කියලා. රජයේ නියමිත මිලට විකුණගන්න බෑ කියනවා. මේ දෙය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වී ඇති වෙනම වර්ගයේ ආර්ථික අභියෝගයක්. කලින් තිබුණේ නිෂ්පාදන අභියෝග, සහල් පවා පිටරටින් ගෙනාවා.

පසුගිය වසර තුන තුළ ලැබී ඇති කෘෂිකාර්මික ජයග්‍රහණ, අප මස්තකප්‍රාප්ත කිරීමට නම් ගොවීන් ලබාදුන් දායකත්වය වෙළෙඳාම් ක්ෂේත්‍රයට ඇතුළත් කර, ගොවියා සහ පාරිභෝගිකයා අතර ඇති සම්බන්ධය මීට වඩා සාර්ථක අයුරින් ඇති කළ යුතුයි. එසේ නොවුණොත් මේ කෘෂිකාර්මික ජයග්‍රහණ ආපසු පෙරළෙන්න ඉඩ තිබෙනවා.

තමන්ගේ කෘෂි බෝග අලෙවි කරගත නොහැකි වුණාම, ඉල්ලුම් සැපැයුම් න්‍යාය යටතේ ඊළඟ කන්නයේ නිෂ්පාදනය අඩු වෙනවා. එය නතර කර ගැනීමට නම් මුලින් කී අභියෝග අප ජයගත යුතුයි.

l උතුර සහ නැඟෙනහිරට වැඩි අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය සහ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මඟින් ජාතික ධනයට එක්කරමින් ඇති දායකත්වය අගයන්නේ කොහොමද?

සංචාරක ව්‍යාපාරයේ දායකත්වය ඉතාමත් ම ඉහළයි. සංචාරක ව්‍යාපාරය සඳහා හොඳ ම පළාත නැඟෙනහිර. විශේෂයෙන් ත්‍රිකුණාමල, කල්කුඩා, පාසිකුඩා වෙරළ තීරය විවේකය ගත කිරීම සඳහා හෝටල, නිකේතන තිබෙන්නේ. මේ ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු සඳහා එන අයට ඇති හෝටල්වලට වඩා මේවා වෙනස්. මොකද මේවා විවේකීව ගත කරමින් සැබෑ සංචාරක අත්දැකීමක් ලැබීමට පිළියෙළ කර ඇති නිසා. මාලදිවයින ගත්තත් සංචාරකයන් එහි ඇදී යන්නේ එවැනි අත්දැකීමක් ලැබීමටයි. මේ නිසා අපේ රටෙත් මේ ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය ඔස්සේ දියුණුවීමේ විභවය වැඩියි.

ඊළඟට උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල විශාල පිරිසක් දැන් විදේශ රැකියා සඳහා යොමුවී සිටිනවා. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 13 ක් අද විදේශ රැකියාවල යෙදෙනවා. ඔවුන් රටට විශාල විනිමයක් එවනවා.

කලින් අපේ ප්‍රධාන ආදායම් මාර්ග වුණේ, තේ, ඇඟලුම් සහ සංචාරක කර්මාන්තය. මේවායින් ලැබෙන මුදල් රටේ ආර්ථිකයට විශාල රුකුලක්. දැන් විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් එම ප්‍රධාන ආදායම් මාර්ගවලටත් ඉහළින් ඇති ආදායම් මාර්ග බවට පත්වෙලා. ආදායමට එකතු කරන ප්‍රමාණය වගේම, මේ රටේ රැකියා ප්‍රශ්නයට එය විශාල විසැඳුමක් වී තිබීම වැදගත් කාරණයක්. මේ ලක්ෂ 13 ටම ශ්‍රී ලංකාවේ රැකියා දෙන්න පුළුවන්ද? විදේශ රැකියා සඳහා යැවීමට එරෙහිව හඬ නඟන අයට මේ රැකියා අවශ්‍යතාව සපුරන්න පුළුවන්ද? මගේ නම් අදහස මේ ප්‍රමාණය ලක්ෂ 20 දක්වා වැඩි කළ යුතු බවයි. ඊටත් වඩා මිනිසුන් රට රැකියාවලට යාමට පෝළිමේ සිටිනවා. ඒ නිසා නිලධාරිවාදය සහ දේශපාලනික කාරණා මේවාට හරස් නොකළ යුතුයි.

අපේ ප්‍රතිපත්තිය අනුව දැන් මෙරට රැකියා විරහිතභාවය අඩුවී තිබෙනවා. ඒත් එය සමබරතාවක් නෑ. විශේෂයෙන් උගත් යැයි සම්මත කොටස්වලට අපේ ආර්ථිකයට බද්ධ වීමට නොහැකි බවක් පෙනෙනවා. ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට එක්වන්නේ නෑ. කම්කරුවන්ට රතු කමිස ඇඳගෙන පෙළපාළි යන්න පුළුවන්. හැබැයි ජවිපෙත් සමඟ ඉන්නේ මේ කම්කරුවෝ නෙවෙයි; ශිෂ්‍යයෝ. ඒ අය කොහෙත්ම කම්කරු පන්තියට අයිති නෑ. ඔවුන් කරන්නේ කම්කරු පන්තියෙන් සුරාකන එකයි. අපිත් ඒකාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස පෙළපාළි ගියා. හැබැයි, ශිෂ්‍යයන් කම්කරු පන්තියට අයිති නෑ. උපාධිධාරින් වැඩියෙන් අධ්‍යාපනික සුදුසුකම් ලබා ගත්තත් වෘත්තීයමය සුදුසුකම් අඩුයි. ඔලුව වැඩි වුණත් කඳ පුංචියි වගේ තත්ත්වයක්. මේක වැරැද්දක්.

l ඒ වැරැදි නිවැරැදි කරගත යුතුයි නේද?

නිසැකවම කළ යුතුයි. ඒ සඳහා උසස් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. දැඩි ලෙස ප්‍රතිසංස්කරණයන්ට ලක්කිරීම අවශ්‍යයි. විද්‍යාවට – තාක්ෂණයට යොමුවු අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍යයයි. කලා උපාධිධාරින් වැඩි වශයෙන් බිහිකිරීමෙන් එය ඉටුවන්නේ නෑ. ඒ අයට වෘත්තීය පුහුණුවක් දිය හැකි වුණත්, ඔවුන් ඒකටත් කැමැති නෑ. නායකත්ව පුහුණුවට අකමැති පිරිස වෘත්තීය පුහුණුවට කැමැති වෙයිද? මගේ විෂය සමාජ විද්‍යාව, හැබැයි, අපි මේවාට වැඩියෙන් විද්‍යා – ගණිත, පරිගණක තාක්ෂණය ආදී විෂයයන්ට යොමුවිය යුතුයි. එහෙම නැත්නම් ඒක හරියට කැවුමෙ මුක්කම නෑ කිව්ව වගේ. මුක්කම නෑ කිව්වට වැඩක් නෑ, මුලදී ඒක හදන්න ඕන. ඒ නිසා රජයක් හැටියට අපට තීරණ ගන්න වෙනවා. සමහර ඒවා ජනප්‍රිය නැතිවෙන්න පුළුවන්. හැබැයි සමහර තීරණ ගන්න වෙනවා. මගේ වචනවලින් කියනවා නම්, මේ අධ්‍යාපන ක්‍රමය ලංකාවට වැළඳුණ පිළිකාවක්. කොයිතරම් අමාරු වුණත් මේ පිළිකාව කපන්න වෙනවා. එසේ නොවුණොත්, මුළු දේශයම කඩා වැටෙනවා.

යුද්ධය නිමාවී ඇති පසුබිමක අපි මේවාට මුහුණදිය යුතුයි.

l යුද්ධය නිමාවීමත් සමඟ රටේ සංවර්ධනය ශීඝ්‍රයෙන් පෙරට ගැනීම සඳහා අවකාශයක් ඇතිවුණා. ඒ සඳහා ඇති යොමුව ඔබට පෙනෙන්නේ කෙසේ ද?

යුද්ධය නිමා වීමෙන් සංවර්ධනය සඳහා විශාල වේදිකාවක් නිර්මාණය වුණා. රජය විශාල සංවර්ධනයක් රටේ සිදුකරමින් තිබෙනවා. ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය වගේ රටවලට අද මොකද වෙලා තියෙන්නේ? ඒවා අර්බුදයට ගිහින්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි කම්කරු පන්තියට ඕනෑවටත් වඩා පහසුකම් දීම. එහෙම වුණාම ඒක රටට ඔරොත්තු දෙන්නේ නෑ. පිටරටින් ණය අරන් මේවා දෙන්න ගියොත් මොකද වෙන්නේ? ණය දෙන අයට පෙනුණොත් මේ ණය ආපසු ගෙවීම අසීරු වෙයි කියලා, රටේ තියෙන විනිමය ඉක්මනින් පිටට යනවා. ග්‍රීසියේ ඇ.ඩො. මිලියන 1000 ක් එක දවසෙන් රටින් පිටට ඇදුණා.

ඒ නිසා වර්තමානයේදී අප කවුරුත් තේරුම් ගත යුතු ඉතාම වැදගත් දෙය තමයි, ශ්‍රී ලංකාව වගේ රටක්, තනිකර අපේ ආදායමෙන් දුවන ආර්ථිකයක් ඇති රටක් නෙවෙයි. අපි විදේශ ණය ලබාගන්නවා. විදේශිකයන් කොටස් වෙළෙඳ පොළේ සහ වෙනත් ආයෝජනයන් කරනවා. හැබැයි, රටේ ආර්ථිකය ගැන යන්තම් හරි සැකයක් ඇති වුණොත්, මේ ආයෝජකයෝ රටින් යනවා. අපි මුල්‍ය අරමුදලෙන් ණය ගන්න කොට, සමහරු ඒක විවේචනය කළා. හැබැයි මේ ආයතනවලින් රටකට ණය දෙනකොට අන්තර් ජාතිකවත් ඒ රටේ ආර්ථිකයක් ගැන යම් සහතිකයක්, විශ්වාසයක් ඇති වෙනවා. වාහනයක් ලියාපදිංචි කර හෝ නොකර පදවන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් මොකක්ද? මුල්‍ය අරමුදලෙන් ණය ගන්න රටක් බලපත්‍රයක් ඇති මෝටර් රථය වගේ. ඒකට අවදානමක් නෑ. ඒ නිසා මේවා ගැන නිකම්ම කෑ ගැසීමෙන් වැඩක් නෑ.

l රටේ ආර්ථිකය වර්ධනය කිරීමට අදාළව දේශීයව හා විදේශීයව ජයගත යුතු අභියෝග ගැන ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

විදේශීය වශයෙන් අපට ඇති අර්බුදකාරී බලපෑමක් තමයි අපේ රටට ආනයනය කරන භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම. ප්‍රධානම ආනයන දෙකක් තමයි ඛනිජ තෙල් සහ කාර්මික අමුද්‍රව්‍ය. අපට පෙනෙන දෙයක් තමයි තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නාර්ථයක්. දැනට අපට තෙල් නෑ. තනිකරම රටින් ගෙන්විය යුතුයි. ගෙනැත් පිරිපහදු කරන එකත් ඉතා අකාර්යක්ෂම ලෙස තමයි කරන්නේ. පෞද්ගලික අංශය යටතේ මේ දෙය වුණා නම් මෙවැනි තත්ත්වයක් නෑ. මගේ අදහස නම් ජනසතු කරන ලද මේ ආයතනය අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට සහන දෙන්න තියෙන, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය සඳහා වැය කළ හැකි මුදල් කා දමන ආයතනයක් බවට පත්වී ඇති බවයි. මේ මුදල් දෙන්නේ ඇමැතිවරුන්ගේ සාක්කුවලින් නෙවෙයිනේ. මේවා මහජන මුදල්. තෙල් මිල සම්බන්ධයෙන් විශාල අර්බුදයක් යද්දි, මේ ආයතන නිසි සාර්ථකත්වයකින් ගෙනියන්න බැරිනම්, ඒකත් විශාල අර්බුදයක්. කොයිතරම් අමාරුකම් තිබුණත් මේවා මුල ඉඳන්ම හදන්න වෙනවා. සේවක සංඛ්‍යා විමර්ශනය කරන්න වෙනවා. මේ නිසා තමයි අපි මීට කලින් මුදල් අමාත්‍යංශයේ සිටියදී කිව්වේ බෙදාහැරීමේ කටයුතුවලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදාහැරිය යුතුයි කියලා.

ත්‍රස්තවාදය පරාජය කර, නිදහස ලබා ගැනීම මඟින් ලැබී ඇති අවස්ථාව කිසිසේත් අපතේ නොහැරිය යුතුයි. මේ නිදහස ඔස්සේ ඉදිරියට යමින් ආර්ථික වශයෙන් ද රට නඟාසිටුවීමේ අභියෝගය අප ජයගත යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා