මුද්‍රණය සඳහා

 
මහින්ද චින්තනයෙන් ඇගයෙන සංස්කෘතික විවිධත්වය

මහින්ද චින්තනයෙන් ඇගයෙන සංස්කෘතික විවිධත්වය

ලෝක සංස්කෘතික විවිධත්ව දිනය අදයි.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

;ජන සමාජයක හැඩගැස්ම හා ඊට ආවේණිකව පැවත එන සිරිත් විරිත්, ගතිගුණ, සිතුම් පැතුම්, ඇදහිලි විශ්වාස ආදිය එම ජන සමාජයේ සංස්කෘතියයි. ජන සමාජයක යහපැවැත්ම හා දියුණුව උදෙසා සංස්කෘතිය ඉවහල් වන බවත්, ඉවහල් කර ගත යුතු බවත්, ලෝකවාසීන්ගේ පොදු පිළිගැනීමයි. මේ අනුව මිනිසා කතා කරන භාෂා, අදහස ආගම්, සියලුම කලාවන්, චාරිත්‍ර වාරිත්‍ර ආදිය ඔහු ජීවත්වන වටපිටාවේ නිර්මාණශීලී හා දිවි පැවැත්මට හිතකර සාධක ආදිය සංස්කෘතියකට විෂය වෙයි.

මිනිසාගේ සමාරම්භය කවදා ඇති වීද එදා පටන් ඔහු සිය සංස්කෘතිය නිර්මාණය කළේය. ලෝකයේ ඉපැරණි ඉතිහාසගත තොරතුරු පවත්නා ග්‍රිසිය, මිසරය, බැබිලෝනියාව ආදී රටවල දියුණු සංස්කෘතීන් පැවති බවට සාධක එමටය. එමෙන්ම මෑතදී හෙළිදරව් කරගත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව ශ්‍රී ලංකාවේ ද ක්‍රි. පූ. 3900 ටත් පෙර දියුණු ජන සමාජයක් පැවති බව තහවුරු වී තිබේ. මේ අනුව සාභිමානී ඉතිහාසයක් හිමි අපි දේශීයවත්, ජාත්‍යන්තරවත් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම සඳහා දියුණුව සඳහා ඒ ඒ සංස්කෘතීන් හි යහපත් අංග පවත්වා ගත යුතු වෙමු. ඇගයිය යුතු වෙමු. ඒ සඳහා ඵලදායී පියවර අනුගමනය කළ යුතු වෙමු.

ජනාධිපතිතුමා 2005 වසරේ ඉදිරිපත් කළ “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සඳහන් කර ඇත. “කලාකෙත අස්වැද්දීම”

“කලාකෙත අස්වැද්දීම කලා සංස්කෘතික පෝෂණය

අපගේ ඉපැරණි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කර ගැනීම, විශ්වකලා සංස්කෘතික උරුමයන්හි ප්‍රබුද්ධ අංගයන් දේශීය ජනතාවට හඳුන්වා දීම, පුරවැසියාගේ ජීවිතය උසස් මානසික හා අධ්‍යාත්මික ගුණවගාවන්ගෙන් පෝෂණය කිරීම, ප්‍රඥාසම්පන්න විචාරශීලී ප්‍රබුද්ධ හා ඉදිරිගාමී ජනසමාජයක් බිහිකිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් උසස් සංස්කෘතික ජීවිතයක් පුරවැසියාට ලබාදීමට ඉවහල් වන ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමි.”

මහින්ද චින්තන ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය

ඉහත සඳහන් වන විශිෂ්ට ප්‍රකාශය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය රජයේ හා ජන සමාජයේ සහායත්, ජාත්‍යන්තර සහායත් ලැබ ගනිමින් දැන් ක්‍රියාත්මක කරමින් සිටිමු. ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය 2007 වසරේදී රජයේ අනුමැතිය ඇතිව ප්‍රකාශයට පත් කළෙමු. එහි එන ක්‍රියාමාර්ග දැන් අපි ක්‍රියාවට නඟමින් සිටිමු.

ලෝක සංස්කෘතික විවිධත්ව දිනය ප්‍රකාශයට පත්කිරීම

2001 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සංස්කෘතික විවිධත්වය පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් ප්‍රකාශයට පත් කළේය. එහි මූලික අරමුණ වූයේ සංවර්ධනය සඳහා සංස්කෘතීන් හි ඇති විවිධත්වය හඳුනා ගැනීම හා උපයෝගී කර ගැනීමයි. මේ අනුව විවිධ ජාතීන් වඩාත් හොඳින් සාමුහිකව, සමඟිව ජීවත් වෙමින් මිනිසාගේ පරම අරමුණ හා යුතුකම වන ජන සමාජය දියුණු කිරීම, සමාජ යහපැවැත්ම හිතකර හා තිරසාර කිරීම සඳහා කටයුතු කිරීම යන අරමුණ පෙරදැරිව 2002 වසරේදී සෑම වර්ෂයක ම මැයි මස 21 වෙනිදා ලෝක සංස්කෘතික දිනය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝකයේ සෑම රටක් ම පාහේ මැයි 21 වනදා ලෝක සංස්කෘතික දිනය සමරමින් ඉහත අරමුණු සාක්ෂාත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරති. මෙහිදී අප රට සම්බන්ධයෙන් බලන කල්හි අන්‍ය බොහෝ රටවල මෙන්ම භාෂාවන්, ආගම්, කලාවන් ආදී සංස්කෘතීන් හි විවිධත්වයක් ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් වශයෙන් ද භාෂා හා ආගම් වශයෙන් ද සංස්කෘතික විවිධත්වයෙන් ද බහුවිධ වන රටකි. අප රට, අපේ ආගම්වලින් පෙරදා සිට හික්මවනු ලැබූ ශ්‍රී ලාංකික අපි වසර තුන්දහසක පමණ සිට සමඟිව, සහයෝගයෙන් ජීවත් වෙමින් අද පවත්නා දියුණු මට්ටමට මේ රට පවත්වා ගෙනැවිත් ඇත්තෙමු. දුරාතීතයේ පටන් ලෝක ප්‍රජාව සමඟ මිත්‍ර සබඳකම් පවත්වගෙන ඇත්තෙමු. අප රට හරහා ගමන් කළ “සේද මාවත” නම් වූ පැරණි වෙළෙඳ නැව් මාර්ගයේ ඉතිහාසය වසර 2600 කටත් අධික යයි ප්‍රකාශ වේ. විටින් විට පැන නැඟි අසමඟිතා වුවද ඥානාන්විතව ක්‍රියා කිරීමෙන් ජයගෙන සමස්ත ප්‍රජාව සමඟිව දැන් මෙරට ජීවත්වනු දැකීම අපගේ සතුටයි.

සමාජයේ යහ පැවැත්ම

විශේෂයෙන් මෙහිදී අප රට සම්බන්ධයෙන් බලන කළ බෞද්ධ, හින්දු හා මුස්ලිම් ආදී විවිධ ආගම් ද, භාෂාවන් ද ඒ ඒ ජාතීන් විසින් භාවිත කෙරේ. ඒ ඒ සංස්කෘතීන් අනුගමනය කෙරේ. කලාවන් හැඩගැස්වේ. නිර්මාණය කෙරේ. පවත්වා ගනිමින් දියුණු කෙරේ. සමාජයේ යහපැවැත්මට හිතකර ලෙස මේවා පවත්වාගෙන යාමට රජය අනුමැතිය හා අතහිත දේ. දිරිගැන්වේ. අගය කෙරේ. මේ අනුව වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනක දැන් සිටිමු. ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉහත අරමුණු හා වැඩසටහන් තව තවත් ;ව්ගවත් කර ඇත. ඒ අනුව ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි යන භාෂාවන්හි දියුණුව හා සැමට භාවිතයට දිරිගැන්වීම, එමඟින් ජාතීන් අතර සම්බන්ධතාවය තහවුරු කිරීම, සමඟිය සාක්ෂාත් කිරීම, දැන් ක්‍රියාත්මක වේ. සියලු ජාතීන් එකිනෙකාට ගරු කිරීම, ඔවුන්ගේ සංස්කෘතීන්ට උදව් කිරීම දැන් පැහැදිලිව පෙනේ. අතිගරු ජනාධිපතිතුමා හා මැති ඇමැතිවරු සියලුම ජාතික, ආගමික, සංස්කෘතික උත්සවවලට සහභාගි වෙති.

පසුගිය අලුත් අවුරුදු උත්සවය, වෙසක් උත්සවය ආදී විවිධ ජාතීන් හි හා ආගමික උත්සවවලට භේදයකින් තොරව එකිනෙකා සහාය දුන්හ. ආසන්නතම උදාහරණය වෙසක් සැරසිලිය. කොළඹ නගරයේ වෙසක් සැරසිලිවලට සියලුම ජාතීන් සම්බන්ධ වූ බව අපි දිටිමු. ප්‍රධාන භාෂා තුනෙන්ම එකම විට සමාජය අමතයි. විවිධ සංස්කෘතික හා කලා අංග එකම වේදිකාවේ රඟ දැක්වෙති. ඒවා අගයති. අප අමාත්‍යාංශය ද මෙම ප්‍රතිපත්ති අනුව යමින් ගරු ටී. බී. ඒකනායක මැතිතුමාගේ උපදෙස් අනුව මෙරට සංස්කෘතික විවිධත්වය ඇගයීමේ හා පිළිගැනීමේ විශේෂ හා වැදගත් ක්‍රියාමාර්ගවලට දැන් වඩාත් ඇප කැපව අවතීර්ණ වී සිටිමු. මේ අනුව මේ මස 21 වනදාට යෙදෙන 2012 වසරේ ලෝක සංස්කෘතික විවිධත්ව දිනය මේ මස 22 වනදා සවස 2.00 ට මරදාන ටවර් රඟහලේ දී සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ටී. බී. ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී විවිධ ජාතීන්ගේ නියෝජනයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට අපි කටයුතු කරමු.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]