දේශීය ගොවියාට දිරි දුන්නේ මේ රජයයි

දේශීය ගොවියාට දිරි දුන්නේ මේ රජයයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට බඩඉරිඟු විදේශයන්ට අපනයනය කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 (හෙට) සිදුවෙයි. මේ කටයුත්තට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ව්‍යවසායකයා වන වයඹ ට්‍රේඩර්ස් සභාපති ෂාවුල් හමීඩ් සාදිකීන් මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුවට මහින්ද චින්තන වැඩපිළිවෙළින් ලැබී ඇති දායකත්වය ගැන දැක්වූ අදහස්වලින් මේ ලිපිය සැකැසිණි.

“ගල්ගමුව මගේ ගම. මගේ පියා ෂාවුල් හමීඩ්. ඔහු ගොවියෙක්. ගොවිතැනට අමතරව ඔහු ධාන්‍ය වර්ග එකතු කර වෙළෙන්දන්ට අලෙවි කිරීම ව්‍යාපාරයක් විදිහට කළා. මඩ සෝදා ගත් පසු ගොවියා රජකමට සුදුසුයි කිව්වාට ගොවියාට නියමිත මිලක් ලැබුණේ නැහැ. ඒකට විසඳුමක් ලබාදිය යුතු බව මම හැමදාම කල්පනා කළා.”

ෂාවුල් කුඩාවට පටන්ගෙන ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් බවට පත්වූවෙකි. තනිවම නැඟී සිටීම වෙනුවට සියලු දෙනා සමඟ නැඟී සිටීමේ පරමාර්ථය ඔහුගේ සාර්ථකත්වයට හේතු වන්නට ඇත.

වර්තමාන ආර්ථික රටාව අනුව සමුපකාර ක්‍රමය ප්‍රායෝගික නොවන බවට අදහස් පළවුවද ෂාවුල් සිය ව්‍යවසාය ගොඩනැගීම සඳහා ගුරුකොට ගන්නේ සමුපාකාරික ක්‍රමයෙන් මතු වූ අදහස් ය. ඒ සඳහා ඔහුට වඩාත් බලපෑවේ දිළින්දන් සඳහා බැංකු ක්‍රමයක් ඇතිකළ කීර්තිමත් බංගලිදේශ ආර්ථික විද්‍යාඥයෙක් වූ මොහොමඩ් යුනුස්ගේ මතිමතාන්තර ය.

ෂාවුල් හමීඩ් සාදි­කීන්

ඔහු ව්‍යාපාරිකයන් අතර අසම්මත ව්‍යාපාරිකයෙකි. සමුපකාරික ක්‍රමයට අමතරව ඔහු ධනවාදී ආර්ථික ක්‍රමයේ එන තරගකාරී මිල යාන්ත්‍රණය ද පිළිගන්නෙකි. එසේම ඔහු ඉස්ලාම් ආගමේ සඳහන්ව ඇති ආකාරයට ව්‍යාපාර කිරීමට උත්සාහ කරන මුසල්මානුවෙකි. ඒ සියල්ලට අමතරව ඔහු රට ගැන සිතන ව්‍යාපාරිකයෙකි.

ෂාවුල් ව්‍යාපාරික කටයුතු සඳහා කෘෂි කාර්මික ක්ෂේත්‍රය තෝරාගන්නේ කුඩා කළ සිට පැවැති හුරුවට අමතරව ඔහු රට කෙරෙහි දක්වන අචල භක්තියේ ප්‍රතිඵලයක් හැටියට ය.

ෂාවුල් ගැන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කතාබහ අලුත් වූයේ ඉරිඟු විදේශයන්ට අපනයනය කිරීමට මූලික වූ ව්‍යවසායකරුවා හැටියට ය.

ලබන 22 දින (හෙට) ඔහු සභාපතිත්වය දරන වයඹ ට්‍රේඩ් සෙන්ටර් ආයතනය ලංකා ඉතිහාසයේ මුල්වරට විදේශයන්ට ඉරිඟු අපනයනය කිරීමට මුලපුරමින් තායිවානයට මෙට්‍රික් ටොන් 10,000 තොගයක් නිර්යාත කරනු ලබයි. මුල් ඇණවුම ලබා දීමට ප්‍රථම ඔවුන්ට කැනඩාවට ඉරිඟු අපනයන කිරීම සඳහා තවත් ඇරැයුමක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ඉරිඟු අපනයන සඳහා විදේශ වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇතිවීම නිසා ඉරිඟු වගාකරුවන්ට ස්ථාවර ආදායමක් හිමිව ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව, මයිලගස්වැව, මීගලෑව, තන්තිරිමලේ, විලච්චිය, නොච්චියාගම වැනි ප්‍රදේශවල ගොවීන් දෙදහස් පන්සියයක් පමණ දැනට ඉරිඟු වගාවේ නිරතව සිටී.

ගල්ගමුවේ ෂාවුල් ව්‍යාපාරික කටයුතු ක්‍රමවත්ව ඇරඹීමේ අරමුණින් කොළඹට පැමිණෙන්නේ මෙයට වසර දහනවයකට පෙර ය. 1993 දී කොළඹ නගර මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික සංකීර්ණයක කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ හේ් මේ වන විට ව්‍යාපාරික අධිරාජ්‍යයක නියමුවෙකි.

ගෙන්දගම් පොළොවේ ව්‍යාපාරික විජිතය දිග්විජය කළ ද ඔහු මුල සිටම සිය උරුමය අමතක කළේ නැත. ෂාවුල්ගේ ව්‍යාපාර ජාලය “වයඹ ට්‍රේඩර්ස්” නම් වූයේ, ගල්ගමුවේ අනන්‍යතාව ඉදිරියට ගෙන යාම වෙනුවෙනි.

ව්‍යාපාරික කටයුතු අරඹා වසර හතක් ගතවන විට “වයඹ ට්‍රේඩර්ස්” ආයතනය අලෙවිකරණ ක්ෂේත්‍රය ඉක්මවා ගොස් නව ව්‍යවසායන් සඳහා ද යොමු වී තිබිණ. එහෙත් “වයඹ ට්‍රේඩර්ස්” අනන්‍යතාවය තවදුරටත් එසේමය.

මේ වන විට ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ව්‍යාපාරයක් බවට ෂාවුල්ගේ ව්‍යාපාරය පත්වන ලකුණු පෙනිණි. 2000 වසරේ සිට මහ බැංකුව හඳුන්වා දුන් වැඩපිළිවෙළකට එක්වන ඔහු බඩඉරිඟු වගාකරුවන් සමඟ පෙර ගිවිසුම් ඇතිකර ගැනීමට උත්සුක වේ.

විවෘත වෙළෙඳපොළේ බඩඉරිඟු කිලෝවක ගැනුම් මිල ඒ වන විට රුපියල් දොළහක් විය. පෙර ගිවිසුම් ක්‍රමය යටතේ රුපියල් දහ අටක ස්ථාවර මිලකට සිය නිෂ්පාදන මිලදී ගන්නා බවට සහතිකයක් ගොවීන්ට වයඹ ට්‍රේඩර්ස් වෙතින් ලැබිණ. ඒ වන විට දේශීය බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් පමණ වූ අතර මෙරට නිපදවූයේ එම ඉල්ලුමෙන් 15% ක් සැපිරීම සඳහා අවශ්‍ය අස්වැන්නක් පමණි.

2005 දී මහින්ද රාජපක්‍ෂ රජය බලයට පත්වීමෙන් පසු පොහොර සහනාධාරය ක්‍රියාත්මක කිරීම නිසා හා විදේශයන්ගෙන් ආනයනය කරන බීජ හා කෘෂි උපකරණ සඳහා සහන ලබාදීමෙන් පසු විශාල ගොවීන් පිරිසක් බඩඉරිඟු වගාවට යොමු වූ බව ෂාවුල් පවසයි. රාජපක්‍ෂ රජය දේශීය කෘෂිකර්මාන්තය නැංවීමට හා දේශීය ව්‍යාපාරිකයා නඟාසිටුවීමට ලබා දෙන ලද සහන නිසා සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කළ හැකි වූ බවත් තමන් එහි වාසිය පෙරළා ගොවියාට ලබා දුන් බවත් හේ පවසයි.

මහින්ද රාජපක්‍ෂ රජය බලයට පත්ව ගතවූ වසර හය තුළ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඇතිවූ ප්‍රබෝධය විශ්මයජනක ය. ගෙවී ගිය කෙටි කාලය ඇතුළත මේ ක්ෂේත්‍රයේ සිදුවූ ශීඝ්‍ර වර්ධනය පෙන්වන කදිම කැඩපතක් ලෙස බඩඉරිඟු අස්වැන්න අතිරික්තයක් දක්වා වර්ධනය වීම දැක්විය හැක.

පසුගිය වසර හය ඇතුළත රජය ලබා දුන් සහනවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දිවයිනේ බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය අක්කර ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ආරක්‍ෂක අංශ ද බඩඉරිඟු වගා කිරීමට කටයුතු කළේය. ඒ අනුව දිවයිනේ බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය සත්‍ය ලෙසම ගත් විට මෙයට වගා ඉහළ සංඛ්‍යාවක් විය යුතුය.

කිසියම් බෝගයකට ඉහළ මිලක් හෝ ස්ථාවර මිලක් හිමිවන විට බොහෝ ගොවීන් එම බෝගය ඉන් පසුව වගා කිරීමට පෙළඹීම මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ එක්තරා ප්‍රවණතාවකි. මෙම ප්‍රවණතාව නිසා බොහෝ විට එළැඹෙන කන්නයේදී අදාළ බෝගයේ මිල ශීඝ්‍ර ලෙස පහත බසී.

බඩඉරිඟු වගාවට එවැනි අපල උපද්‍රවයක් නැත. පසුගිය වසර හත පුරාවටම රුපියල් දොළහේ සිට තිස් පහ දක්වා ගැනුම් මිල ඉහළ ගිය අතර කිසි විටෙකත් පහත වැටුණේ නැත. ඉදිරියේදී තවත් ගොවීන් බඩඉරිඟු වගාවට යොමුව අස්වැන්න තවදුරටත් ඉහළ ගියද ශශ්‍රී ලංකාවේ බඩඉරිඟු අපනයන සඳහා විශාල ඉල්ලුමක් විදේශයන්ගේ ඇති නිසා ගොවීන්ට අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නැත.

මෙරටින් බඩඉරිඟු පිටරටට අපනයනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රචාරය වීමෙන් පසු ගොවීන් තවදුරටත් මිලදී ගන්නෙක් නොමැතිව ලතැවෙන බව හැඟී යන ආකාරයේ ප්‍රවෘත්ති සමහර මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්නට යෙදුණි. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩක් ඇද්දැයි අපි මේ අපනයනකරුගෙන් විමසා සිටියෙමු.

ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේය. දිවයිනේ විසිර තිබෙන සිය ඕනෑම ශාඛාවකට ඕනෑම ප්‍රමාණයක බඩඉරිඟු අස්වැන්නක් මිලදී ගැනීමට හැකියාවක් ඇති බවත්, කිසියම් ගොවියෙක්ට සිය අස්වැන්න විකුණාගත නොහැකිව පසුවන්නේ නම් එම අලෙවි මධ්‍යස්ථානයකට ගෙනැවිත් භාර දෙන ලෙසත්ය.

වයඹ ට්‍රේඩර්ස් හිමිකරු තවදුරටත් පවසන්නේ දේශීය බඩඉරිඟු අපනයන සඳහා විදේශ වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින්නේ ඒවා උසස් තත්ත්වයකින් පැවතීම නිසා බවය. තත්ත්වයෙන් බාල නිෂ්පාදන නිර්යාත කිරීමෙන් වෙළෙඳපොළ කඩාවැටීමට ලක්විය හැකි අතර රටේ කීර්ති නාමය ද නැති වී යයි. මේ නිසා ඔහු තවදුරටත් කියා සිටින්නේ කිසියම් ගොවියෙක් අලුතින් වගාව සඳහා යොමුවන්නේ නම් සිය සමිතියකට ඇතුළුවීම යෝග්‍ය බව ය.

එවැනි සමිතියකට ඇතුළුවීම මගින් ගොවියාට වගා කිරීම පිළිබඳ නිසි උපදෙස් ලැබෙන අතරම අලෙවි ආදායම සහතික කෙරේ. උසස් තත්ත්වයේ බඩඉරිඟු අස්වැන්නක් ලබාගන්නා ආකාරය පිළිබඳ තාක්ෂණික පුහුණුවක් මෙමඟින් ගොවියාට හිමිවේ.

මේ ව්‍යාපාරික ජාලය හා එක්වන ගොවීන්ට සුබසාධන සේවා රැසක් හිමිවේ. ඉස්ලාම් ආගම අනුව පුද්ගලයෙක් ඔහුගේ ආදායමින් සියයට දෙකහමාරක් සමාජ සුබසිද්ධිය සඳහා යොමු කළ යුතුය. එම නියමය තමන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ දින සිටම ආරක්‍ෂා කළ බවත්, “සීසර්ගේ දේ සීසර්ට දිය යුතුවාක් මෙන්” ආදායම් බදු ද නොසඟවා ලබාදිය යුතු බවත් හේ පවසයි.

කුඩාවට පටන්ගෙන ජාත්‍යන්තරය ජය ගත් ව්‍යාපාරිකයෙක් වන ෂාවුල්ගේ යොමුවීම වැඩි වශයෙන් ඇත්තේ විදේශ වෙළෙඳපොළ කෙරෙහිය. ඒ ගැන අප විමසූ විට ඔහු පවසන්නේ සිය මව්බිමට හැකිතාක් විදේශ විනිමය ලබාදීම ව්‍යාපාරිකයන්ගේ යුතුකම බවය.

ඔහු නිරතුරුවම සිහින දකින්නේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම ගැන ය. ඒ සිහින තුළ ව්‍යාපාරික සැපයුම්කරුවන් වන ගොවීන්, ගොවි නියාමකයින්, අතරමැදියන්ට අමතරව රටේ අනාගතය ද වේ. ඔහුගේ මීළඟ අභිලාශය වන්නේ යල හා මහ කන්න අතරමැද කාලය තුළ වගා කළ හැකි බෝග වර්ග ගොවියාට හඳුන්වා දීම ගැනය. එවැනි අතරමැදි බෝගයක් ලෙස මේ වන විට තල නිෂ්පාදනය හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී තවත් බෝග කිහිපයක් අපනයනය කිරීමට ෂාවුල්ගේ අරමුණ වේ. ව්‍යාපාරිකයන් නඟාසිටුවීමට මහින්ද රාජපක්‍ෂ රජය තරම් වෙනත් කිසිම රජයක් උදව් නොකළ බව පවසන ඔහු තමා වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන් කෘෂි ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්නේ රජයෙන් ලැබෙන සහය නිසා බව පැවසුවේ හද පිරි සතුටිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා