හිමිවුණේ කුමට අහිමි ආදරය

සමනළියකගේ දුක හිතෙන සටහනක්

හිමිවුණේ කුමට අහිමි ආදරය

තරුණිය හමුවූයේ දුම්රියේදීය. මට දකුණුපස හිඳ කවුලුවෙන් පිටත බලා හිඳියි. කෙහෙරොද සුළඟේ වේගයට දඟලයි. මුහුණ වසාගත් කෙස් මොහොතින් මොහොත ඇයට කරදර කරයි. නොසිතූ මොහොතක ඇගේ බැල්ම මා වෙතට හැරෙයි. මා ගල් ගැසුනාක් මෙනි. දෙනෙත් රත්පැහැ ගැන්වී ඇත. ඒවා කඳුළින් තෙමී ගොසිනි. කෙහෙ සකසමින් දෑස් පිසිමින් යළි තරුණිය කවුලුවෙන් පිටත බලා ගත්තාය. කෙහෙරොද ඒතරම්ම හිතුවක්කාරය. ශීඝ්‍රගාමී දුම්රියේ තව බොහෝ දුර යා යුතුව ඇත. මැය හා දොඩමලු වීමට ඇත්නම් පාළුව තනිකම මගහැරෙනු ඇත.

“excuse me නංගී...”

ඇයට මම කතා කළෙමි. ඇය මා වෙත ලයාන්විතව බැලුවාය. දෙතොළඟ මද සිනහවක් ආයාසයෙන් උපන්නේය.

“ඔයාට කරදරයක් නෙමෙයි නම් අපි පොඩ්ඩක් කතා කරමුද? තව දුර යන්ඩ තියෙනවනෙ.”

ඇය දිගු හුස්මක් ගත්තාය. මගේ යෝජනාවට ඈ කෙසේ ප්‍රතිචාර දක්වයිද බියක් නොදැනුනාම නොවේ. නමුත් ඕ එබඳු යෞවනියක නොවන බව මට තේරුම් ගියේය.

“sorry, මොනවද ඔයා කිව්වේ...”

තරුණිය දෑස පිසලමින් සිහින් හඬින් පැවසුවාය.

“අපි පොඩ්ඩක් කතා කරමු”

“මං ගෙදර ඉඳලා බෝඩිමට යනවා. සතිපතා නිවාඩුවට ගෙදර ආවා....” එක්වරම ඇයට හැඬිණි.

මම වෙනතකට නෙත් හැරවීමි.

“ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද?” මා නොසිතූ මොහොතක ඇය මගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.

“මම... මම හැමෝටම ආදරේ කරනවා.”

“එහෙම නෙවී... විශේෂ කෙනෙකුට girl friend කෙනෙකුට.

“හිටියා... ඒත් දැන් නෑ. උපාධියේ අන්තිම අවුරුද්දෙ එයා අපේ ආදරේ නැවැත්තුවා”

“මම රසාංගනා... අයියා...”

“සඳරුවන්”

“ලස්සන නමක්”

“ඔයාගෙ නමත් ලස්සනයි” මම කීවෙමි.

අප දෙදෙන අතර යන්තමට මිතුදමක් වර්ධනය වෙමින් තිබේ.

“ඔයාට ජීවිතේ එපා වෙලා නැද්ද?”

“එපාවෙලා තියෙනවා. ඔයාටත් එහෙම වෙලා ඇති”

“හුඟක් වෙලාවල... මගෙ අම්මා විතරයි අයියෙ ඉන්නෙ. මං පොඩි දවස්වලම තාත්තා අපිව දාලා ගිහින් මං මේවා ඔයාට කියෙන එක හරිද මන්දා. අනේ මට සමාවෙන්න”

“නෑ ඔයා ඕන දෙයක් මට කියන්ඩ”

“ප්‍රශ්නයක් නෑනේ. ඔයාට තේරෙනවා ඔයා උගත් කෙනෙක්. මං එච්චර ඉහළට ඉගෙනගෙන නෑ. ඉගෙන ගන්න උවමනාව තිබුණත් හැකියාවක් තිබුණෙ නෑ.” කිසිවක් නොකියා මම ඇයටම කතා කිරීමට ඉඩ දුන්නෙමි.

“අම්මා බාප්පව කසාද බැන්ඳා. මාත් එක්ක අම්මට දැන් ළමයි හයයි. බාලම නංගියාට තාම මාස දෙකයි. ලොකු නංගියව බලාගත්තෙ මම. මං රස්සාවට එන්න කලින් කළේ නංගිලා මල්ලිලා බලා ගන්න එක. ගෙදර හැම වැඩක්ම පැවරුණේ මට. උයලා නොතිබ්බොත් අම්මා යකින්න වෙනවා. බාප්පයි අම්මයි අඳේට කුඹුරු කරනවා. ඒකෙන් තුනෙන් පංගුවක් අපිට ලැබෙනවා. සමහර දවස්වලට මාත් වෙලට යනවා. මාස ගණනකට ඒ වී ඇති. අම්මත් පිරිමියෙක් වගේ. ඕනෑම වැඩක් අම්මට කරන්න පුළුවන්. හේනක් කොටන්ඩ වුණත් පුළුවන් තනියෙම. මාත් අම්මගෙ උදව්වට ගියා. ලොකු නංගි තේරෙන වයසට එනකොට මගෙ වැඩේ නංගිට පැවරුණා. ලොකු මල්ලියාව බලාගත්තේ නංගියා.” ඇය කියවාගෙන යන්නී...

“අයියා, එක මැල්ලුමකුයි බතුයි විතරක් කාලා තියනවද? රසාංගනා මා මුහුණ වෙත හැරෙමින් ඇසුවාය.

“මං මේ මොනව කියනවද ඔයාට. මං විවෘතයි. ඒත් කියන්න කවුරුවත් හම්බවුණේ නෑනේ”

“නෑ කමක් නෑ ඔහේ තනියෙම අඬ අඬා ඉන්නවට වඩා මට හැමදේම කියන එක හොඳයි”

“මාළු කෑල්ලටත් ගෙදර සංඩු ඇතිවෙනවා. අම්මා ගෙදර ගානට මාළු කෑලි කපන්නේ. එකක් හරි මදිවුණොත් ගෙදර රංඩු. මල්ලියා එකක් හොරෙන් කාලා. කිසිම ඵලක් නැති චූටි චූටි දේවල් වලට අම්මයි තාත්තයි ඔහේ බැණගන්නවා. පස්සේ ඒවා රංඩුවක් තරමට දුරදිග යනවා. මගෙ අවාසනාවටයි මං නිවාඩුවකට ගෙදර ආවේ. මං මහ අවාසනාවන්ත කෙල්ලෙක් අයියේ’ හැම දේකටම වැරදිකාරි වෙන්නෙ මමයි. නංගිලා මල්ලිලා වැටුණත් වැරැද්ද මට. ඒ අය ඇඬුවත් වැරදි මම.

එදා මට ජීවිතේ එපාම වුණා. අම්මයි, බාප්පයි ලොකු රංඩුවක් ගියා. අම්මට බාප්ප ගැහුවා. බේත් කරන්නත් වුණා. මට මගෙ තාත්තව හුඟාක් මතක් වුණා.

“අනේ මටත් මගෙම කව්රුහරි සිටියානම්.”

ඈ දිග සුසුමක් පිට කළාය. යළි පෙම්වතුන් දෙස බැලුවාය.

“ඔයා වහ බීලා තියෙනවද?” ඇය මගෙන් අසයි.

“ඇයි ඔයා බීලා තියෙනවද?

“එදා බිව්වා. දෙන්නාගේ රංඩුව එන්න එන්නම වැඩිවූණා. මම මැද්දට පැන්නා නවත්වන්න. ඒත් දෙන්නම බැන්නෙ මට. කවදාවත් මං අම්මට අතක් උස්සලා නෑ. ඒත්...”

රසාංගනා කඳුළු පිසිමින් කවුලුවෙන් පිටත බලා හිඳිමින්, සිහින් ඉකි බිඳුමක් නැඟුවාය.

ඇය යළි මා වෙතට හැරුණාය.

“ඔයාට දැන් මං ගැන හොඳට තේරෙනවා ඇති. අද වෙනකම් වෙච්ච හැමදේම කියන්නම්”

“එදා මට හුඟාක් අමාරු වුණා. ඒක වෙලට ගහන්න ගෙනත් තිබුණ බෝතලයක්. මට මොනවා වුණාද මං දන්නෑ අයියෙ. ආපු තරහට බෝතලේම අරන් බීගෙන බීගෙන ගියා. මං දන්නෑ කොච්චර තිබුණද කියලා... ඒකෙන් අම්මගෙයි බාප්පගෙයි රංඩුව නැවතුණා. මාව ඉස්පිරිතාලෙට අරං ගිහින්... දවස් ගානක් හිටියා. ලේත් එක්ක වමනේ ගියා. කොණ්ඩෙත් ගියා. උගුර දැවිල්ල මතක් වෙද්දිත්... උහුලන්න බැරි ගඳ... එදා වෙන දෙයක් වුණාවෙ කියලා බිව්වේ... ඩොක්ටර් කිව්වා සියදිවි හානිකර ගැනීමට තැත්කිරීම බරපතළ වරදක් බව.... මං ඒවා දන්නෑ අයියේ. ජීවිතේ සතුටින් නම් මොකටද නේද දිවිනසා ගන්න යන්නේ.? මං ඉස්පිරිතාලෙදීම ඇහුවා.”

“මං මගෙ අම්මගෙ දුව නෙවෙයිද... ඇයි මට තාත්තගෙ ආදරේ අහිමි කළේ. මම මොකක්ද අම්මෙ කළ පව. මේ ආත්මෙදි මං මහලොකු පවක් කරලා නෑ. අම්මට අත උස්සපු එක මට දරාගන්න බෑ. බාප්පට මං ගැහුවා...” අයියෙ මං කළේ වැරැද්දක්ද...?

පැයක් පමණ ඇගෙ කතාව දිගටම කළාය. ඇසේ කඳුළු තිබුණද සුළඟට ඈ නෙත් පියවිණ.

“නංගි ඔහොම සීට් එකට ඔළුව තියාන ටිකක් නිදාගන්න” ඇය මට අවනත වූවාය. රසාංගනා පිටුපසට බරවිණ. දෑස් පිස ගත්තාය.

දෑස් පියවූ ඇයට මේ සියල්ල යළි මැවී පෙනෙන්නට ඇත. කඳුළත් සමඟ ඉපිද කඳුළත් සමඟ මැරෙන අතරවාරය තුළ දෑසකින් කොතෙක් කඳුළු ගලනු ඇත්ද? හද හඬා වැළපෙනු ඇද්ද? දුකම උරුම මිනිසාට මොහොතකට හෝ ඉන් ඈත්වීමට හැකිනම්. ඇත්තටම මොහාතකට දුකින් මිදිය හැක. නමුත් තව මිනිසෙකු මිනිසාගේ දුක ඇතිකිරීමට පාදක වේ නම්...

රසාංගනා සුව නින්දේ පසුවෙයි. සීතල සුළං ඇඟ වැදේ.

තොටිල්ලක් සේ පැද්දෙමින් දුම්රිය වේගයෙන් ගමන් ගනී. ඈ හිස ඉදිරියට නැවේ. යළි කෙළින් වේ. මගෙ උරතලයට සමීප වෙයි. යළි ඈත් වෙයි. ඇය හා තදින් තෙරීමට මා ඇයට සමීප වුණි. ඈ හිස මළානිකව මා උරතලයේ රැඳිණ. ඇයට හෝ මට හෝ එය ගැටලුවක් නොව්මුත්... ඉදිරියෙන් වූ පෙම්වතුන් යුවළ අප දෙස බලා සිටිති. ඔවුන් මඳ සිනහවක් පායි.

වැහි බිඳු ඇද හැලෙනු මම නොදුටුවෙන් පෙම්වතා ඒවග මට ඉඟි කළේය. මම කවුලුවෙන් පිටත බැලුවෙමි. සිහින් වැස්සයි. රසාංගනා ඇඟට වැහි බිඳු වැටී ඇත. ඇයට එය නොදැනීමට නම් හේතුවක් නැත. තෙමී මුත් ලද අවස්ථාව ඇයට අගනේය. ඉන් මොහොතකට හෝ මිදීමට ඇය අවදි කළ යුතුව ඇත.

ඈ දෑස් හැර අවට බැලුවාය.

රසාංගනා ඇත්තටම ලොකු පාපකර්මයක් කර ඇත. ස්වභාවධර්මය පවා ඇගේ සුවය සතුටට බාධා කරන්නේය.

පැය දෙකහමාරක් තුනක් ගතවන දුම්රිය ගමන මං යායුතු නැවතුම්පළට යාමට තව අඩ හෝරාවක් පමණ ගතවෙයි. ඇය යළි සුව නින්දට යොමු වන්නීය. මොහොතකින් ඈ හිස මා උරතලයට බර වේ.

ප්‍රභා හා මා සරසවියේ සිට බසයෙන් ගිය අවස්ථාවන් කිහිපයක් මෙසේ හිටි අයුරු මතකයට නැඟෙයි. ඒ හැඟුම යටපත් කරන ප්‍රබල හැඟුමක් මා හිත පෙළයි. දැන් ප්‍රභා මවකි.

මා නැවතිය යුතු දුම්රිය පළ ළඟාවූවත්, රසාංගනා නින්දේය. ඇය අවදි කිරීමට සිත නොදුනත් ඉන් ඉදිරියට මට යා නොහැක.

“රෝස කැකුළියේ නුඹ කොතරම් සුන්දරද... නුඹ නෙලා ගැනුමට මගේ අත දිග මදි. අහිංසක ළබැඳියේ...” මට යා හැකි දුර මෙපමණය. නමුත් රසාංගනාට තව දුර යා යුතුව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා