පොඩ්ඩාට වමේ උණ හැදෙයි

පොඩ්ඩාට වමේ උණ හැදෙයි

පොඩ්ඩා වාමාංශික දේශපාලනයට යොමු වූයේ කෙසේ දැයි පොඩ්ඩාවත් දන්නේ නැත. පොඩ්ඩාගේ තාත්තා එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ඉන් එහා කිසිම පක්ෂයක් ඔහු නොදනී. කොමියුනිස්ට්කාරයන් පෙන්නන්නට බැරිය. තාත්තා යූ.ඇන්.පී නිසා පොඩ්ඩාගේ අම්මා ද යූ.ඇන්.පී ය.

අක්කලා හතර දෙනාගෙන් දෙදෙනකු කෙළින්ම එක්සත් ජාතික පක්ෂයට හිතවත් ය. ඒ තාත්තාගේ බලපෑමෙන් දැයි පොඩ්ඩා ට මතක නැත. පවුලේ වැඩිමලා වන ලොකු හාමිනේ ගේ ඡන්දය ද අලියාට දමන්නේ හැඟීමකින් නොව මේ රටේ තවත් පක්ෂ තිබේ දැයි පැහැදිලි කර ගන්නට තරම් දැනුමක් පොඩ්ඩාටත් ඔහුගේ අයියාටත් නොතිබුණ නිසා ය. පවුලේ බාලයා පොඩ්ඩා ය. ඊළඟට පොඩ්ඩාගේ අයියා ලොකු මහත්තයා ය. ලොකු මහත්තයාට ඉහළින් උකුන් හාමිනේ ය. තුන් දෙනාම යූ.ඇන්.පී විරෝධී අය වෙති.

1956 දී එක්සත් ජාතික පක්ෂය ආසන අටට බැස්සේ ය. පොඩ්ඩාගේ තාත්තා ඡන්දය දුන්නේ දොඩන්ගස්ලන්දට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ හිටපු අගමැති සර් ජෝන් කොතලාවලට ය. ඔහු දිනුවේ ය. අම්මා ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් හක්මන ආසනයට ඉල්ලූ කර්නල් සී. ඒ. ධර්මපාලට ය. ඔහු ද දිනුවේ ය. තාත්තාට ආඩම්බර ය, අම්මාටත් එසේමය. එහෙත් තාත්තා දරුවන් සමඟ ආඩම්බරකම් කතා කරන්නට ආවේ නැත. පරාජය ගැන බොහෝ අය දුක්වෙද්දී අම්මා කළේ කට කොනකින් සිනාසීම පමණි.

අම්මා තාත්තා එජාප ආධාරකරුවන් වෙද්දී පොඩ්ඩාට වාමාංශික අදහස් පහළ වූයේ ඇයි දැයි කියන්නට ඔහුවත් දන්නේ නැත. 1956 ජනතා ජයග්‍රහණය ගැන කතා කරද්දී පොඩ්ඩා එස්.එස්.සී පන්තියේ ය. ජාතික ඇඳුම ඇඳගත් බණ්ඩාරනායක, වාමාංශිකයන් සේ වේගවත් ලෙස කොල්වින්, ඇන්. ඇම්., ප්‍රේමලාල් කුමාරසිරි, පීටර් කේනමන්, වැනි අයට පොඩ්ඩා තුළ නොසිතන ලෙන්ගතු කමක් ඇති විය. ඒ නිසා දවසට ආ විටත් ඒ වාමාංශික දේශපාලන වැළඳී තිබුණි.

දවස පුවත් පතේ වැඩි දෙනකු වාමාංශිකයන් ය. එහෙත් පාලක පක්ෂය ආණ්ඩුව හා දේශපාලනය තෝරා ගන්නේ තමන්ගේ බඩ ගැන සිතලා ය. දවස අයිති ගුණසේන පොත් සාප්පුවට ය. 1964 දී සභාග ආණ්ඩුව හදන විටත් පාලකයෝ තමන්ගේ ව්‍යාපාරය ගැන පමණක් සිතූහ. ලේක්හවුස් ආයතනය ද පොත් මුද්‍රණයට සම්බන්ධ ය.

ඇන්. ඇම්ලා - පීටර් කේනමන්ලා, එස්. ඒ. වික්‍රමසිංහලා, සිරිමාවෝ සමඟ එක් වී සභාග ආණ්ඩු සදන්නට පැවැත් වූ ඓතිහාසික ගෝල්පේස් රැලිය වාර්තා කරන්නට ගියේ පොඩ්ඩා සහ ජැක්සන් ය. ජැක්සන් ද වාමාංශිකයන් සමඟ බැඳුණ පත්තරකාරයෙකි. එදා පෙළපාළියත් ගෝල්පේස් පිටියට ගැලූ ජන ගඟත් එක්සත් ජාතික පක්ෂයත් ධනපති පත්තියත් හෙල්ලුම් කැවී ය. මුදල් ඇමති ලෙස ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමඟි පෙරමුණට එක් වන්නේ මෙම ඓතිහාසික රැලියෙන් පසුව ය.

කෙසේ හෝ එදා රැලිය වාර්තා කරන්නට පොඩ්ඩා රැගෙන ගියේ රතු පාට පෑනකි. එය කාගේවත් උපදෙස් පිට කළ එකක් නොවේ. වමේ උණ නිසා ය. මේ සමගිය දවස පාලකයන්ට මහා වින්නැහියක් වන බව පොඩ්ඩා දැන සිටියේ නැත.

දවස පත්තරේ මුල් පිටුවේ ඩී. බී. ධනපාල කවි පෙළක් පළ කළේ ද සමගි පෙරමුණට එරෙහිව ය. ඔහු ඒ ස්ථාවරයට ආවේ එක් හේතුවක් නිසා ය. දිනක් පොඩ්ඩාත් ජැක්සනුත් කැඳවා ධනපාල මහතා කී කතාවක් පොඩ්ඩාට තවමත් මතක ය.

“මට එක තැනක එක දිගට ඉන්න බැහැ කියල කවුරුත් කියනවා. ඒ නිසා ජැක්සන් මම තීන්දු කළා මෙතැනම ඉඳල පත්‍ර කලාවෙන් සමු ගන්න”

ලංකාදීප – දින දින – දිවයින (පරණ), දවස පත්තරවල කර්තෘ වුණාට ධනපාල මහතාට සිංහල බැරි යයි කතාවක් පවතී. ඔහු ඉංගී‍්‍රසියෙන් ලියූ පොත් කීපයක් ඇත. එහෙත් කලින් සඳහන් කළ පරිදි ඓතිහාසික රැලියට එරෙහිව ධනපාල මහතා කවි කීපයක් ලීවේ ය. එය මුල් පිටුවේ පළ විය. එයින් එක් කවියක් තවමත් පොඩ්ඩා ට මතක ය.

 

‘අකුරැස්සේ දොස්තර

කොළඹ නගරේ පීතර

බොරලුගොඩ බොරු සැර

හවුල් වෙන්නට කරති ජරමර’

කෙසේ හෝ ධනපාල කවි ලියා නිකං ඉන්නේ නැත. දේශපාලනඥයෝ රටේ බලය ගන්නට ධනපාල මහතාගේ පිහිට පතති. ධනපාල මහතා කිසිම නායකයකු මුණ ගැසුනේ නැත. ඒත් දේශපාලනඥයෝ ධනපාල මහතා හමුවෙති. ආණ්ඩු පෙරළන්න ධනපාල මහතා විටින් විට උදව් කර තිබේ. වැඩිපුරම යූ. ඇන්. පී ආණ්ඩු ය. එහෙත් අවසාන වරට ධනපාල මහතා පෙරළුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සභාග රජය යි. එයට අනෙකුත් පත්‍ර ආයතනවල සහාය හා මුදල් නොඅඩුව ලැබුණි. දවස ආයතනය සභාග ආණ්ඩුව පෙරළීමට මූලිකව ක්‍රියා කළේ පාසල් පොත් මුද්‍රණය රජයට පවරා ගැනීම වැලැක්වීමට ය.

සම සමාජ පක්ෂයේ නායකයන් විශේෂයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පාසල් පොත් මුද්‍රණයෙන් සමාගම් ගසා කන බව ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. සත පනහට, රුපියලට දිය හැකි හෝඩි පොතින් අහිංසක දෙමාපියන් ගසා කන බව ඇන්. ඇම්. ප්‍රසිද්ධියේ කීය. ඒ නිසාම ශ්‍රී ලංකා ඉතිහාසයේ පත්තර කන්තෝරු තුනක් එකට එකතු විය. ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණය දියත් කළේ ය. එම කුමන්ත්‍රණය දියත් කරන්නට මුදල් ප්‍රමාණයක් ද විසි කළේ ය. කුමන්ත්‍රණයේ මොළය ඩී. බී. ධනපාල මහතාගේ ය.

ආණ්ඩු පෙරළන මෙහෙයුම ලබන සතියේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා