ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රෞඪ උරුමය පංච මහා බළසේනාවෝ ප්‍රදර්ශනය කළ වගයි

ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රෞඪ උරුමය පංච මහා බළසේනාවෝ ප්‍රදර්ශනය කළ වගයි

ශ්‍රී ලාංකේය ජාතිය සතු ප්‍රෞඪ උරුමයන්ගෙන් ලද අපිරිමිත ජවය, අභිමානවත් සහ විචිත්‍ර ලෙස යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක පංච මහා බළසේනාවෝ පෙරේදා (19) හෝරා තුනහමාරක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේදී මනාව ප්‍රදර්ශනය කළහ.

ම්ලේච්ඡ කුරිරු කොටි ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් අතුගා දමා වසර තුනක් සපිරීමේ විජයග්‍රහණයේ සැමැරුම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී පංච මහා බළසේනාවෝ නියෝජනය කරමින් 11,253 දෙනෙකු සිය වීර්ය වික්‍රමයන් ජාතිය හමුවේ ප්‍රදර්ශනය කළේ සිරිලක ජනන්ගේ නෙත් සිත් ඇදබැඳ ගනිමිනි.

තමන් උපන් බිමට ලක් පුතණුවකු, දියණියක ලෙස ඉටු කළ හැකි උපරිම පරිත්‍යාගය ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව “ජීවිතය” ද පූජා කිරීමය. එවන් උදාරතර පරිත්‍යාගයක් ඉටු කරමින් මවුබිමේත්, ජාතියේත් උස් නිදහස පතා කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට දායක වූවෝ කළ මෙහෙවර විජයග්‍රහණ පෙළපාලියේ දී අගය කළහ. ජාතියේ උත්තමාචාරය ඔවුනට පුද කළහ.

රන් පොළොව, නිල් අහස, ගැඹුරු දිය සිය පණටත් වඩා ආදරයෙන් රැකගැනීමට තම භද්‍ර යෞවනය පුද කළ රණවිරුවෝ 15 දෙනෙකුට “පරම වීර විභූෂණය පදක්කම” ජනාධිපතිතුමා අතින් පිරිනැමූ මොහොතේ අසුන්වලින් නැඟී සිටි සියලු දෙනාගේම නෙතින් කඳුළු බිඳුවක් පිටවිණි.

විජයග්‍රහණ පෙළපාලියට එක්වූ සේනාවෝ පංච තූ®ර්ය වාදක කණ්ඩායම් පෙරටුකොට, ධජ පතාක සමඟින් හා ආචාර පෙළපාලියේ අභිමානවත්ව ගමන් ගන්නා විට ඊට සමගාමීව ගාලු මුවදොර පිටිය අභියස නිල් සයුරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අති නවීන ප්‍රහාරක නෞකා, මගී නෞකා, ප්‍රහාරක යාත්‍රා 72 ක් සිත්ගන්නා ලෙස ගමන් කළහ.

ශශ්‍රී ලංකා ගුවන් හමුදාව ආචාර පෙළපාලියට එක්වන විට ඊට සමගාමීව නිල් ගුවන ගිගුරුවමින් ඔවුන් සතු හෙලිකොප්ටර්, ගුවන් යානා, ප්‍රහාරක යානා 33 ක් ගුවනේ විකුම් පෑහ.

අඩි පන්දහසකට වඩා ඉහළ අහසේ සිට පැරිෂුට් භටයින් විසිදෙනෙකු මවුබිමට පතිතව පෑ විකුම් මේ අවස්ථාවට එක්වූ සැමගේ සිත් ගන්නා දසුනක් ම විය. යුද හමුදාව සතු මානව සම්පත්, යුද උපකරණ, යුධ අවි හා වෙඩි බලය මැනැවින් ජාතිය හමුවේ ප්‍රදර්ශනය කළ මේ පෙළපාලිය අවස්ථාවේදී වඩාත් සංවේදී මොහොතක් දැකගත හැකි විය. ඒ මව්බිමේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා තම ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් පංච මහා බලසේනාවේ සේවය කොට ආබාධවලට ලක්වූ රණවිරුවෝ විවෘත රථවල නැඟී ගමන් ගත් මොහොත විය. “යළි නැගිට යමු පෙරට” වදන එම විවෘත රථවල සනිටුහන් කොට තිබුණි.

විජයග්‍රාහී පෙළපාලියට සහභාගි වීමට මුලින්ම පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා සහ එම මහත්මිය පැමිණියහ. අනතුරුව ශශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහ එම මහත්මිය ද , ශශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සහ එම මහත්මිය ද යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා හා එම මහත්මිය ද පැමිණියහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හා එම මහත්මිය පැමිණියේ ඉන්පසුවය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අයෝමා රාජපක්‍ෂ මහත්මිය පැමිණීමෙන් පසු, අග්‍ර විනිශ්චයකාර ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා ඒ මහතා පැමිණියහ.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා සහ එම මහත්මියගේ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ ජනාධිපති ආර්යාව මේ සුවිශේෂී අවස්ථාවට එක්වූහ.

පොලිස් යතුරුපැදි, යුද හමුදා පොලිසියේ මෝටර් රථ හා අශ්වාරෝහක හමුදාවෝ පෙරටුකොට ජනාධිපතිතුමා පැමිණියහ. මඟුල් බෙර වාදනය සහ ජය සක් හඬ මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික කොඩිය එසවීය. උදෑසන අටට ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ සෙබළියන් විසින් ජාතික ගීය ගායනා කළහ. අනතුරුව ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත පැමිණියහ.

වසර දෙදහස් පන්සීයයක් ඉපැරණි සංස්කෘතියක්, සභ්‍යත්වයක් හා ප්‍රෞඩත්වයක් උරුම අප දේශය, ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගැනීමට සහ සාමයෙන් පිරි රටක් බිහිකිරීමට දිවි පිදූ සියලුම විරුවන් අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

ඉන්පසු ශශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව වෙතින් ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමීම සිදුවිය. විජයග්‍රහණ පෙළපාලියේ අණ දෙන නිලධාරියා වූ මේජර් ජනරාල් ජගත් රඹුක්පොත මහතා විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා සේනාධිනායකයා වූ ජනාධිපතිතුමන්ට දැනුම් දී සිටියේය. ඉන්පසු විවෘත රථයක නැඟී ජනාධිපතිවරයා ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කෙළේය.

එම අවස්ථාවෙන් පසු ජාතිය ඇමතූ® ජනාධිපතිවරයා, විනාඩි 15 ක් තුළ ජාතියට විශාල පණිවුඩයක් ලබාදීම සිදු කෙළේය. පරම වීර විභූෂණ පදක්කම රණවිරුවෝ 15 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට පිරිනැමීම සිදු කළේ ජනාධිපතිතුමාය.

යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්‍ෂක බළකාවල පිරිස් ඉන්පසු ආචාර පෙළපාලියට එක්වූහ. මේ අවස්ථාවේදී නැඟෙනහිර හා උතුරු දෙපළාතේ ආරක්‍ෂාව සහතික කිරීමට උර දුන් රණවිරුවෝ ද සිය රෙජිමේන්තු ධජ පෙරටුකොට පෙළපාලියට සහභාගි වූහ. පුරා දෙපැයක් තිස්සේ පැවැති අභිමානවත් ආචාර පෙළපාලිය අවසන් වූයේ පෙරවරු 11.20 ටය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයෝ, මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරු, පළාත් මහ ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදේශීය තානාපතිවරු, ආරක්‍ෂක අංශ ප්‍රධානීහු, රණවිරු පවුල්වල ඥාතීහු, පාසල් දූ දරුවෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා