සරසවි ප්‍රජාවට අලුත් පාඩමක්

සරසවි ප්‍රජාවට අලුත් පාඩමක්

දැනුම ප්‍රාග්ධනය වේ යැයි කියමනක් තිබේ. එහි එක් අර්ථයක් වන්නේ දැනුමෙන් තොර නූතන ලෝකයක් නැති බව ය. අපට දැනුම ලබා දෙන මාධ්‍යය අධ්‍යාපනය යි. අධ්‍යාපනයේ මුදුන් මල්කඩ සරසවිය යි.හෙවත් විශ්වවිද්‍යාලයය යි.මීට දසක කිහිපයකට පෙර අපගේ විශ්වවිද්‍යාල වෙතින් ද නව පර්යේෂණ බිහි විය. නව නිර්මාණ බිහි විය. ඒ හැරෙන්නට නිරන්තරයෙන්ම ශාස්ත්‍රීය සංවාද, කතිකා, සම්මන්ත්‍රණ පැවැත්විණි. අද වන විට එම ශාස්ත්‍රීය ප්‍රබෝධය මුළුමනින් ම පාහේ අහෝසි වී ඒ වෙනුවට අරගල සංස්කෘතියක් සරසවි වෙතින් වාර්තා වේ.

ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තම ගුරුවරුනට පහර දෙති. ඔවුන් හා අරගල කරති. නවක වදය මුවාවෙන් ශිෂ්‍ය - ශිෂ්‍යාවෝ අපහරණයට ලක් කරති. එකිනෙකාට පහර දී ගනිති. පරිගණකයෙන් ඔළුවට ගසා; ශිෂ්‍යයන් මරා දමන තැනකට විශ්වවිද්‍යාලයයේ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ එක්තරා උගතෙක් කියා සිටියේ මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් නො ව ත්‍රස්තවාදීන් බිහි කරන බව ය. කරුණු විමසා බලන විට එම කතාවෙහි ඇත්තක් තිබේ. ගුරුවරුනට පහර දෙන විශ්වවිද්‍යාල සිසුන් සිටිනුයේ ශ්‍රී ලංකාවේ පමණක් විය හැකි ය.

තත්ත්වය මෙසේ තිබිය දී; පේරාදෙණිය සරසවියේ 1972 කණ්ඩායම අලුත් හා ආදර්ශවත් වැඩසටහන ක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස ආචාර්ය – මහාචාර්යවරුන් තිස් දෙදෙනකුට අද උපහාර පිදේ. මේ උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණි සරසවියේ කලාගාරයේ දී අද පෙ.ව. 9.00ට ය. මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස ඇතුළු ප්‍රවීණ උගත්හු රැසක් සම්මානයෙන් පිදෙති. මේ සියලු දෙනාම 1972 කණ්ඩායමේ ගුරුවරු වෙති.

ප්‍රඥාව ලෝකයේ ඇති වටිනා ම වස්තුව යැයි කියති. ප්‍රඥාව කරා යන මාර්ගය අපට කියා දෙන්නේ ගුරුවරයා ය. ගුරුවරයා දෙවියකු කොට සැලකීමේ පුරුද්දක් අපට තිබිණි. සමාජ පරිණාමයත් සමඟ එම වැදගත් චාරිත්‍රය අප වෙතින් පළා යන්නට පටන් ගත්තේ ය. ගුරුවරයා විවේචනය කිරීම, ඔහු අභියෝගයට ලක් කිරීම හා ඔහුට අපහාස කිරීම අපේ සමාජය වෙතින් පැන නැඟුණේ මෑතක දී ය. එය සමාජය පිරිහීමේ ප්‍රධාන ලක්ෂණයෙකි. ඒ අතින් ගෙන බලන විට පේරාදෙණියේ 72 කණ්ඩායම විශ්වවිද්‍යාල ප්‍රජාවට මෙන් ම මුළු මහත් සමාජයට ම අපූරු පාඩමක් කියා දී තිබේ.

විශ්වවිද්‍යාල මහාචාර්යවරයා යනු සමාජයේ බුහුමනට ලක් විය යුතු යුග පුරුෂයෙකි. ඔහු ස්වකීය දැනුම, කාලය, ශ්‍රමය අනාගත පරපුර වෙනුවෙන් නො මසුරු ව ප්‍රදානය කළ උත්තමයකු ලෙස සැලකිය හැකි ය. විශ්වවිද්‍යාල සම්ප්‍රදාය ආරම්භ වන්නේ ඉතාලියෙනි. පසුව බටහිර ලෝකය පුරා ද, ඊටත් පසු ආසියාවේ හා අප්‍රිකාවේ ද විශ්වවිද්‍යාල ආරම්භ කැරිණි. අද වන විට විශ්වවිද්‍යාල නැති රටක් සොයා ගැනීම දුෂ්කර ය. ඒ අතර චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල විශාල විශ්වවිද්‍යාල ප්‍රමාණයක් පවත්වාගෙන යනු ලැබේ. මෙරටට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති විශිෂ්ට සරසවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයය යි.

පේරාදෙණිය සරසවියේ සම්ප්‍රදාය, අධ්‍යාපනය, එහි ගුරුවරුන්ගේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව බොහෝ දෙනා පිළිගනිති. ඊට තවත් සාක්ෂ්‍යයක් ලෙස 1972 ශාස්ත්‍ර පීඨ කණ්ඩායම හඳුන්වා දිය හැකි ය. මේ කණ්ඩායමේ පිරිස 800 ක් පමණ වෙති. ඒ අතර රටේ වැදගත් ම නිලතල හොබවන අය ද, විදේශීය සේවාවෙහි නියුක්ත අය ද කලාකරුවෝ හා ජනමාධ්‍යවේදී හු ද සිටිති. මේ පිරිස ඒකරාශී වී සංගමයක් පිහිටුවාගෙන අධ්‍යාපනයටත්, සමාජයටත් යහපත් සේවාවක් ඉටු කරමින් සිටිති.

අද ක්‍රියාත්මක වන්නේ එහි පළමු පියවර ය. දීර්ඝ කාලයක් ගුරුවරුන් ලෙස සේවය කොට අද ජීවිතයේ සැඳෑසමය ගෙවන මේ ආචාර්ය - මහාචාර්යවරුනට ජීවත්වීමේ ප්‍රශ්නයක් නො තිබෙන්නට පුළුවන. එහෙත් ජීවිතයේ සැඳෑ සමයේ ඇති වන හුදෙකුලාව, පාළුව, තනිකම, සමාජානුයෝජනයක් නැතිකම බරපතළ මානසික ආතතියකට හේතුවක් වන්නට පුළුවන. මේ උපහාර උළෙල ඊට ප්‍රතිකර්මයක් ලෙස ඉදිරිපත් වූ වැඩසටහනකි. මේ උගතුනට පිළිගැනීමක් අවශ්‍ය කෙ රේ. අගය කිරීමක් හා සැලැකිල්ලක් අවශ්‍ය කෙරේ. පේරාදෙණිය සරසවියේ 72 කණ්ඩායම ඒ සියල්ල ගැන නිරීක්ෂණය කර ඇති බව පෙනෙයි.

විශ්වවිද්‍යාල ආශ්‍රිත ව ගොඩනැඟී ඇති නොයෙක් සංගම් තිබේ. පාසල් ආශ්‍රිතව ගොඩනැගී ඇති ආදි ශිෂ්‍ය සංගම් ද තිබේ. මේ සංගම් බොහෝ විට කරනුයේ වසරකට වරක් ඒකරාශි වී විනේද චාරිකාවක් යෑම ය. නැතහොත් විශාල පාටියක් දැමීම ය. චාරිකා යෑම නරක නැත. පාටි දැමීම ද නරක නැත. එහෙත් උතුන්ගේ සංගමයක් මගින් ඊට වඩා හරවත් යමක් කිරීමට ද වග බලා ගත යුතු ය. පේරාදෙණි සරසවියේ 72 කණ්ඩායම සියලු දෙනාට වැදගත් පරමාදර්ශයක් ලබාදී තිබේ.

පේරාදෙණිය සරසවිය සැලැකිල්ලට ලක්වනුයේ මහාර්ඝ ඥානයට ක්ෂේම භූ®මියක් ලෙස ය. 1972 කණ්ඩායම ලෝකයේ පරිවර්තන යුගයක හා ශ්‍රී ලංකාවේ තරුණ නැගිටීමක් පැවැති අවදියක අධ්‍යාපනයේ නිරත වූ පිරිසෙකි. ඔවුන්ගේ දැනුම හා ප්‍රඥාව ගැන තක්සේරුවක් කළ හැක්කේ එකල ගුරුවරුන් ගැන ද එම විද්‍යාර්ථීන් අද පසුවන තත්ත්වයන් ගැන ද නිරීක්ෂණය කිරීමෙන් ය. ඒ අතින් බලන විට 1972 කණ්ඩායම පේරාදෙණි සරසවි සංස්කෘතියේ කැපී පෙනෙන පිරිසකි. ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ දෙස රට ම බලා සිටිනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා