රට පෙරට යන විට විපක්ෂය ආපස්සට

රට පෙරට යන විට විපක්ෂය ආපස්සට

මහින්ද සමරසිංහ
වැවිලි කර්මාන්ත ඇමැති

ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට ඉදිරියේ ඇති අභියෝග සහ ඒවා ජය ගැනීමෙ රජයේ ක්‍රියාමාර්ග ගැනත් දේශපාලන විසැඳුමක් ලබාදීමට යෝජනා වී ඇති තේරීම් කාරක සභාවට දේශපාලන පක්‍ෂවල දායකත්වය කෙබඳු විය යුතුද යන්න ගැන වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

* ත්‍රස්තවාදය පරාජය කොට, රටට නිදහස දිනා දී වසර 3 කට පසු රටේ ඇති වී තිබෙන තත්ත්වය සහ ගතවූ කාලය දෙස ඔබ බලන්නේ කෙසේද?

මොනවගේ දුෂ්කර කාලයකට අපට මුහුණ දෙන්න සිදුවුණාද කියන එක සමහරුන්ට අමතකයි. කොහොම වුණත් අපට බලපෑ බරපතළම ප්‍රශ්නය ජනාධිපතිතුමා නායකත්වයට පත්වුණාට පස්සේ තමයි එක ස්ථාවරයක පිහිටලා එතුමාගේ සේනාධිනායකත්වය යටතේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා අතිශයින් දුෂ්කර ගමනක යෙදිලා විසඳා දුන්නෙ.

අද ත්‍රස්තවාදයෙන් රට නිදහස්. අප එය කිසිදා අමතක නොකළ යුතුයි. රණවිරුවන්ට අමතරව අහිංසක ජනතාවගේ භික්ෂූන් වහන්සේගේ පවා ජීවිත ත්‍රස්තවාදීන් බිලිගත්තා. විශාල දේපළ විනාශයක් සිදුවුණා. රටේ ආර්ථිකයට ප්‍රබල පහරක් වැදුණා. අසමගියක් ඇති වුණා. මේ හැම දේම අවසන් වෙලා අද අපි එදාට වඩා හොඳ තත්ත්වයකට ඇවිත් සිටිනවා. මේ කාරණා අපි අමතක කළොත් නැවතත් කලින් තිබුණ වගේ තත්ත්වයක් ඇති වෙන පරිදි වැඩ සිදු වෙන්නත් පුළුවන්.

අද රට ලබාගෙන ඇති දියුණුව දේශපාලන ආර්ථික හා සමාජයීය ස්ථාවරභාවය මෙන්ම පවතින සාමය මේ සමහර දෙනාට දරාගන්න බෑ. අප ලබාගෙන ඇති ප්‍රගතිය දුටුවාම සමහරුන්ට පැහැදිලි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. කොටි සංවිධානයට සහාය දුන් සහ ඔවුන් කවදා හෝ ඊලාම් රාජ්‍ය පිහිටුවනවා කියන ස්ථාවරයේ සිටි අය පමණක් නෙවෙයි, දේශපාලන භූමියේ ඉන්න සමහරුන්ටත් ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා.

මොකද තමන්ගේ කාලයේ කරගන්න බැරි වුණ දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කළ නිසා. ඒ නිසා මේ අයගේ වුවමනාව අප ගොඩනගා ගෙන ඇති ස්ථාවරභාවය නැති කරලා තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න වෑයම් කිරීමයි. ඔවුන් රට පළමු තැනට තියලා කටයුතු කරන පිරිසක් නෙවෙයි. මේ නිසා අපි වරින්වර ජනතාවගේ මතකය අලුත් කළ යුතුයි.

පසුගිය කාලයේ ඇතිවූ තත්ත්වය ගැන සමාලෝචනයක් සිදු කර යළි එවැනි තත්ත්වයක් ඇති නොවන මාර්ගයකට යන්න අප ක්‍රියා කළ යුතුයි. ඒ ගමන තමයි ජනාධිපතිතුමා ආරම්භ කරලා තියෙන්නේ. ත්‍රස්තවාදය විනාශ කරන්න අවුරුදු 30 ක් ගියා වගේම සාමය දිනා ගැනීමේ ගමන කෙටි කාලයක් තුළ සම්පූර්ණ කරන්නත් බෑ. තවමත් අභියෝග ගණනාවක් තියෙනවා. ඇත්තටම ඒවා යුද්ධ කාලයටත් වඩා වැඩියි. බලවත් රටවල් සංවිධානාත්මකව අපට අභියෝග කළ අවස්ථා තිබුණා. ඉදිරියටත් අපට ඒවාට මුහුණ දෙන්නවෙයි. ත්‍රස්තවාදය පරාජය කළ නිසා තමයි මේ අභියෝග අප ඒවා ජයගත යුතුයි. ඉදිරියට ඇති ගමන දුෂ්කරයි, හැබැයි අප ඉදිරියට යා යුතුයි.

* යුද්ධයෙන් පසු මේ අභියෝග ජය ගැනීමේදී රජය කොපමණ සාර්ථක වී ඇතැයි කියන්න පුළුවන්ද?

ගතවු අවුරුදු 3 දිහා කවුරු හරි මධ්‍යස්ථව හැරී බැලුවොත් අප ගමන් කර ඇති දුර පිළිබඳ ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සාමය දිනා ගැනීම සඳහා කර ඇති කාර්යභාරය පිළිබඳ කියන්න වෙන්නෙ රජය විශාල දුරක් පැමිණ ඇති බවයි. හැබැයි හැමෝම අපක්ෂපාතීව බලන්නේ නෑ. එක එක න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා. ඇතැම් බලවත් රටවලට වුවමනාවක් තිබෙනවා අපව වට්ටන්න. ජිනීවා වලදී ගෙනා යෝජනාවත් ඒ කුමන්ත්‍රණයේම කොටසක්. ලංකාවේ දැන් තියෙන තත්ත්වය සත්‍යය විකෘති කරලා පක්ෂපාතීව පෙන්නුම් කරන්න සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

දේශීය වශයෙන් ගත්තාම උතුර සහ නැගෙනහිර නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන්ට රජය කරන සංවර්ධන කටයුතු බැලුවාම විශාල ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන බව පෙනෙනවා. මොකද ඒ අය මේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් නොවන නිසා.මේ දේශපාලනඥයෝ එදා හිටියෙත් අද ඉන්නෙත් වෙනත් පැත්තක. විශේෂයෙන් උතුර සහ නැගෙනහිර රජය සිදු කරන සංවර්ධන කටයුතු විකෘති කර ජනතාවට පෙන්වා දේශපාලන වාසි ලබා ගැනීමේ ප්‍රයත්නයක මේ දේශපාලනඥයන් යෙදී සිටිනවා. දකුණේ සිටින ඇතැම් දේශපාලනඥයන්ටත් ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. රජය පැමිණ ඇති දුර දිහා මේ අයටත් අපක්ෂපාතීව මධ්‍යස්ථව බලන්න බෑ.

* රජය සිදු කරන සංවර්ධන ක්‍රියාවලීන් පිළිබඳ හා රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ජනතාවට ඇති අවබෝධය ගැන ඔබ මොකද සිතන්නේ?

පසුගිය දිනවල අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා අපි අනුරාධපුර ගියා. කණ්ඩායම් වශයෙන් බෙදිලා අපි ගෙන්ගෙට ගොස් ජනතාව හමුවුණා. ඔවුන්ගේ අදහස් දැනගත්තා. ප්‍රශ්න පිළිබඳ දැනුවත් වුණා. ඒවාට විසඳුම් දෙන්නත් ඉදිරිපත් වුණා. මට භාරදුන් ප්‍රදේශයට ගියාම විශාල පිරිසක් අපව මුණ ගැසීමට ආවා. ප්‍රශ්න ගැන දැනුම් දුන්නා. අඩු පාඩු නැතැයි අපි කියන්නේත් නෑ. හැබැයි අවසානයේ ඒ සියලු දෙනා එක හෙලා කිව්වෙ ජනාධිපතිතුමාට ඡන්දය ප්‍රකාශ කරනවා කියලා.

එතුමා ගැන ඇති විශ්වාසය එලෙසම තිබෙනවා. ඉදිරියටත් එය එසේම බව ඔවුන් කිව්වා. මේ තත්ත්වය මම ගිය ප්‍රදේශයට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. අනෙක් මැති ඇමතිවරුනුත් කිව්වෙ මේ කතාවම තමයි. රටේ අනෙක් ප්‍රදේශවලත් තත්ත්වය මෙයයි. අපට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් තවමත් රටේ ඉතා පැහැදිලි බහුතරයක් ජනාධිපතිතුමාගේ නායකත්වය හා රජය සමග සිටින බව මේ කාරණය ගැනත් මම මුලින් කී පාර්ශවයන්ට වෛරයක් ඊර්ෂ්‍යාවක් තියෙනවා.

නොයෙක් කුමන්ත්‍රණකාරී වැඩ දියත් කරන්නෙ සමහරු ජාත්‍යන්තරයට ගිහින් නොයෙක් බොරු කියන්නෙ ඒකයි. මේ ඇතැම් අය සමහර ජාත්‍යන්තර බලවතුන්ගේ අතකොළු බවට පත් වෙලා. සමහරු මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට ඩොලර් ලබා ගන්නවා. මට නම් පෙනෙන්නෙ හොඳ වෙලාවට රටට ආදරය කරන නායකයෙක් බලයට පත් වුණ එක රටේ වාසනාවක් බවයි. තමන්ගේ පැවැත්ම ගැන පමණක් හිතන දුර්වල නායකයෙක් සිටියා නම් බාහිර පාර්ශවයන්ට මීටත් වැඩි බලපෑමක් රටට කරන්න හැකියාව ලැබෙනවා. බාහිර බලපෑම් වලට මේ අන්දමින් මුහුණ දෙන්න අපට පුළුවන් වොල තියෙන්නේ එඩිතර රටට ආදරය කරන ශක්තිමත් නායකයෙක් අපට සිටින නිසා.

* ජාතික ප්‍රශ්නය ලෙස හඳුනාගත් ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ගැන රජය ක්‍රියා කරමින් සිටිනවා. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කෙසේද?

ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න තියෙනවා වගේම දේශපාලන ප්‍රශ්නත් ජනතාවට තියෙනවා. අපි ඒක පිළිගන්න ඕන. ඒ වගේම ඒක ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. හැබැයි අපි ඉතාමත් අසීරුවෙන් ලබාගත් දේශපාලන ආර්ථික හා සමාජ ස්ථාවරභාවය බිඳ වැටෙන ක්‍රියාමාර්ගයකට අපට යන්න බෑ. මේ ස්ථාවරභාවය ශක්තිමත් වන ක්‍රියාමාර්ගයකට තමයි රටක් හැටියට අප යන්න ඕනෑ.

මේ නිසා දේශපාලන අයිතිවාසිකම් හා බලාපොරොත්තු තියෙන පිරිසකට පමණක් යම් විසඳුමක් ලබාදීමටත් අපට බෑ. හැමෝටම ඒ වගේ අපේක්ෂාවන් නැති බවත් කියන්න ඕන. යම් යම් බලාපොරොත්තු තියාගෙන සිටින අය විශේෂයෙන් උතුරේ ඉන්නවා. අනෙක් අය අමතක කරලා ඒ අයට පමණක් විසඳුම් ලබාදීමටත් රජයක් හැටියට අපට බෑ. යම් විදියකින් අපි එහෙම කරන්න ගියොත් එතකොට ‍ෙවන්නෙත් අප ලබාගෙන ඇති ස්ථාවරභාවය දුර්වල වෙන එකයි.

ඒ වගේම එවැනි විසඳුමක් කල්පවත්නා විසඳුමක් වෙන්නෙත් නෑ. 1987 දී වුණේ මොකක්ද කියල අපි දැක්කා. අපේ ගුවන් සීමාව උල්ලංඝණය කරලා ඉන්දියාව උඩින් ඇවිත් පරිප්පු දැම්මා. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අස්සන් නොකළොත් ඊළඟට දාන්නෙ වෙනත් දෙයක් බවට එමගින් පණිවුඩයක් දුන්නා. 87’ දී මේ ගිවිසුම අස්සන් කිරීම සමහරුන්ට හොඳ වෙනකොට සමහරුන්ට ඒක බොහොම නරක සිදුවීමක් වුණා. මේක භයානකයි කියල හිතපු පිරිස පාරට බැස්සා, නොයෙක් විරෝධතා ක්‍රියාමාර්ග ගත්තා.

එවකට තිබුණු ආණ්ඩුවේම ඇතැම් කොටස් පවා ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට එරෙහිව පාරට බැහැපු බව අපි අමතක කළ යුතු නෑ. මේ දේවල් ඉතිහාසයේ ඉතාම පැහැදිලිව සටහන් වී තියෙනවා. වෙනත් රටක රාජ්‍ය නායකයකු පැමිණෙන විට හමුදා පෙරෙට්ටුවෙදි සෙබළෙක් තුවක්කුවකින් පහර දෙන තරම් මිනිසුන්ගේ සිතිවිලි උත්සන්න වී තිබුණා. ඇති වුණු විරෝධයේ තරම ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ ගිවිසුම අස්සන් කිරීම නිසා සමාජයේ බෙදීමක් ඇතිවුණා.

ඒ අත්දැකීම් පදනම් කරගෙන නැවත එවැනි තත්ත්වයක් කිසි දිනෙක ඇති නොවන පරිදි අප ක්‍රියා කළ යුතුයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් මේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්න කියලා කියන්නේ.

* එතෙන්දි මීට ලැබෙන දේශපාලන පක්ෂ වල දායකත්වය ගැන?

සියලු දේශපාලන පක්ෂවලට යම් පොදු තැනකට එන්න සිදු වෙනවා. එවැනි විසඳුම් යෝජනාවක් ජනතාවට පිළිගත හැකි ජනතා විරෝධයක් ඇති නොවන යෝජනාවක් හැටියට අපට පිළිගන්න පුළුවන්. ඒ නිසා මේක තමයි මේ සඳහා තියෙන එකම මාර්ගය. අවසානයේදී මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ගියාම කාටවත් කඹ ඇදිල්ලකට යන්නත් බෑ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා