මේ වසරේ සමෘද්ධි සහනාධාරයට රුපියල් මිලියන 12,794ක මුදලක්

මේ වසරේ සමෘද්ධි සහනාධාරයට රුපියල් මිලියන 12,794ක මුදලක්

ආර්ථික සංවර්ධන නි‍. ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මේ වසරේ සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා රුපියල් මිලියන 12,794ක මුදලක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 33ක වැඩිවීමක් බව පෙන්වා දුන් ඇමැතිවරයා 2011 වසරේ සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් මිලියන 9043.44ක් වැය කර තිබෙන බවද කීවේය.

එක් සමෘද්ධි ලාභී පවුලකට භූමිතෙල් සහනාධාරය වශයෙන් වසරකට රුපියල් 1200ක මුදලක් ලබාදීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව පවසන නියෝජ්‍ය ඇමැතිවරයා මීට අමතරව සමෘද්ධි බැංකුවකින් ණය ලබා ගැනීම ඇතුළු තවත් ප්‍රතිලාභ 14ක් හිමිවන බවද අනාවරණය කළේය.

සමෘද්ධි කූපන් පත ලබාදීම වෙනුවට එම මුදල් සමෘද්ධි ලාභියාගේ ගිණුමක තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවත් මෙමඟින් එම මුදල ඇපයක් ලෙස තබා ණය මුදලක් ගෙන ව්‍යාපාරයක් කරගෙන යාමට හැකියාවක් පවතින බවත් අබේවර්ධන මහතා පැවසීය.

වෙනදා සමුපකාරයේ ඇති යම් ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් ගැනීමේ අනිවාර්ය ක්‍රමය නව වැඩපිළිවෙළ සමඟ අවසන් වු බව පවසන හෙතෙම එය සමෘද්ධි ලාභියාගේ අභිවෘද්ධිය සඳහා පිටුවහලක් වන බව කීවේය.හම්බන්තොට දිස්ත්‍රික්ක මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනලද පැනයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා