අපේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ඕස්ට්‍රේලියාවෙන් රුපියල් කෝටි 460 ක්

අපේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා
ඕස්ට්‍රේලියාවෙන් රුපියල් කෝටි 460 ක්

නවීන ලෝකයට ගැළපෙන පරිදි ගුණාත්මක අධ්‍යාපනයක් ශ්‍රී ලාංකීය දරු පරපුර වෙත ලබාදීම සඳහා රුපියල් කෝටි 460 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන වැඩපිළිවෙලක් වෙනුවෙන් පිරිනැමෙන මේ ආධාරය ලෝක බැංකුව හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන අතර වසර 4 ක කාලයක් සඳහා වන මේ මඟින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකීය පාසල් දරු දැරියන් ලක්ෂ 40 ක් ආවරණය වන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මිය පවසයි.

සිසු දරුවන් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීම, ඒ ඒ ප්‍රදේශවල අධ්‍යාපන මට්ටම අනුව තුලනයක් ඇති කිරීම මෙන්ම සමාජ ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීමට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් හැකිවන බවද ඒ මහත්මිය සඳහන් කරයි.

මේ අතර ඇය පෙන්වා දෙන්නේ පාසල් දරුවන් ලක්ෂ 40 ට අමතරව ගුරුවරුන් 250000 කට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කළමනාකරණ හා පරිපාලන කටයුතුවල නියැලී සිටින 3500 කටද මෙමඟින් සෙත සැලසෙනු ඇති බවයි.ඊට අමතරව අධ්‍යාපන කටයුතු ඇඟයීම හා පාලනය සම්බන්ධයෙන් පාසල් කළමනාකරුවන්ටද මෙමඟින් සහන හිමි වෙයි.

ඒ අනුව අවම පහසුකම් පවතින පාසල්වල පොදු පහසුකම් ඉහළ නැංවීම, පාසල් විෂය මාලාවන් සංශෝධනය කිරීම හා ගුරුවරුන් සඳහා වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම මේ මඟින් සිදු කෙරෙන බවද ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය කියා සිටී.

මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් සමඟ පාසල් පරිසරය මිත්‍රශීලි පරිසරයක් ලෙස ගොඩනැඟීමට හැකි වීමෙන් පාසල් ළමුන් පාසලට පැමිණෙන දින ගණන ඉහළයාම සහ පාසල් හැරයන පිරිස අවමවීම සිදුවනු ඇතැයිද මහ කොමසාරිස්වරිය විශ්වාසය පළ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා