කොළඹ මසට හොර හරක් ලොරි 60ක්

කොළඹ මසට හොර හරක් ලොරි 60ක්

කුරුණෑගලින් ඇල්ලූ ගවයන් 2500 කට පොලිසියෙන් අභය දානය

ඝාතනය කිරීම සඳහා හොර රහසේ කොළඹට ප්‍රවාහනය කරමින් සිටි ගවයන් දෙදහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේදී බේරා ගැනීමට පොලිසිය සමත් වෙයි.වසරකටත් අඩු කාලයක් ඇතුළත ගවයන් මෙතරම් විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකිවු ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

කුරුණෑගල හා අවට ප්‍රදේශයේ නීති විරෝධී ගව ඝාතන ස්ථාන පනහකට ආසන්න සංඛ්‍යාවක්ද වටලා ඒවා පවත්වාගෙන ගිය පිරිසද අත්අඩංගුවට ගෙන ඇත.

හොරෙන් ගවයන් ප්‍රවාහනය කිරීම ඝාතනය කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ කාලය ඇතුළත සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට අයත් ගවයන් ප්‍රවාහනය කිරීම ගවයන් ප්‍රවාහනයට යොදා ගත් ලොරි හැටක් පමණද අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ හිමිකරුවන් වූ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා අධිකරණයෙන් දඩ නියම විය.

තවත් පිරිසකට සිර දඬුවම් නියම වී ඇත. ලොරි දහයක් රාජසන්තක ද කර තිබේ.

සියලු ගවයන් රාජ සන්තක කර ගොවිපල වෙත යැවීටම අධිකරණ නියෝගයක් පැනවී තිබේ. අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, මැදවච්චිය, වවුනියාව, හොරොව්පොතාන, හා කන්තලේ කැලෑවල නිදැල්ලේ හැසිරෙන ගවයන් අල්ලා මස් පිණිස කොළඹ එවීම කාලයක් තිස්සේ සැලසුම් සහගතව සිදුවූ මහා පරිමාණ ජාවාරමකි.

පොලිස්පති ඇන්. කේ. ඉලංගකෝන් මහතාගේ අවසරය මත වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නොකඩවා මේ වැටලීම් කැරිණි. උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සිට කොළඹට ගෙන එන ගවයන් රැගත් ලොරි අනිවාර්යයෙන්ම කුරුණෑගල හරහා ධාවනය විය යුතු වෙයි.

ජාවාරම්කරුවන් සිය ගව ලොරි නිදහසේ කරගෙන යාම සඳහා එක් ;ලාරියකින් මසකට රුපියල් පනස් දහස බැගින් පොලිසියට කප්පම් ලබාදීමටද ඉදිරිපත් වූ අවස්ථා ද වූ බව පොලිසිය කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා