මෙරට කටයුතුවලට ඇඟිලි ගහන්න ෆොන්සේකා නොරටුන්ට අත වනනවා

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතුයැයි ප්‍රකාශ කරමින්

මෙරට කටයුතුවලට ඇඟිලි ගහන්න ෆොන්සේකා නොරටුන්ට අත වනනවා

ජනමාධ්‍ය ඇමැති කෙහෙ‍ළිය රඹුක්වැල්ල

උතුරේ හමුදා කඳවුරු ඉවත්කළ යුතු බවට සරත් ෆොන්සේකා මහතා කරනු ලබන ප්‍රකාශ මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට වෙනත් රටවලට වක්‍රාකාරයෙන් ආරාධනා කිරීමක් බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙ‍ළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

තමන්ට ලැබුණු නිදහසෙන් හා අවස්ථාවෙන් කවුරුන් හෝ අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන්නේ නම් එය ඉතාමත් පහත් හා වැරදි ක්‍රියාවක් බවද ඇමැතිවරයා පැවසීය.

දැන් එළැඹ ඇත්තේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළ යුතු අවස්ථාව බව පැවසූ රඹුක්වැල්ල මහතා එවැනි තත්ත්වයක් යටතේ විදේශීය මාධ්‍යවලට මෙවැනි ප්‍රකාශ කිරීම අනුමත නොකරන බවද අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ සිය නිවසේදී ඊයේ (25) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඕස්ට්‍රේලියාවේදී අනතුරකට ලක්ව මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිට පෙරේදා (24) මෙරටට පැමිණ පැවැත්වු පළමු මාධ්‍ය හමුව අමතමින් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ෆොන්සේකා මහතා එවැනි ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයකට කර තිබේ නම් එය එතරම් සුබවාදී නොවන බවයි.

මෙරට යුදමය වශයෙන් නිදහස තිබුණද ජාත්‍යන්තර වශයෙන් තවමත් නිදහසක් නැති බවත් මෙවැනි ප්‍රකාශ නිසා විවිධ රටවල් මෙරටට අත පෙවීමට උත්සාහ කරනු ඇති බවත් රඹුක්වැල්ල මහතා කීවේය. හමුදා කදවුරු ඉවත්කිරීමට සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ‍ඇමැති හෝ ආරක්ෂක ලේකම් හෝ නොවන බවත් සාමාන්‍ය පුද්ගලයෙක් පවසන දේ ක්‍රියාත්මක කිරීමට රජයට කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීය.

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වු යෝජනාවට ඕස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය පළ කළේ මෙරට තත්ත්වය පිළිබද නිසි දැනුවත් වීමකින් තොරව බව මෙහිදී ඇමැතිවරයා මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය. ඕස්ට්‍රේලියාව සත්‍යය වටහා ගත් පසු වෙනස් වූ බව ද අමැතිවරයා කීවේය.

ජිනීවා ප්‍රශ්නය ගැන සොයා බැලීම තමන් බාර ගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබූ නිසා ඒ ගැන ඇමැති මණ්ඩලයට කිසිම චකිතයක් නොතිබුණු බවත් වසර තිහක යුද්ධය නිම කළ ජනාධිපතිතුමාට ජීනිවා ප්‍රශ්නයට මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් තිබූ බවත් රඹුක්වැල්ල මහතා පැවසීය. ජිනීවා ප්‍රශ්නය රජය නොදැන ගිය ගමනක් නොවන බවත් තවමත් රජය සටන අත්හැර නැති බවත් හෙතෙම සඳහන් කළේය.

තමා අනතුරට පත් වු දා සිටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ප්‍රතිකාර ඇතු ළු සියලු අවශ්‍යතා පිළිබද සොයා බැලු බවත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තූති කරන බවත් කීවේය. කැබිනට් මණ්ඩලය නිරතුරුව තමන්ට ශක්තිය දුන් බව කී ඇමැතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන් ස්තූති කරන බවද කීවේය.

තම අමැති ධුරයේ වැඩ බලමින් වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට විශේෂයෙන් ස්තූති කරන බවද තමන් අනතුරට පත් වු අවස්ථාවේ සිට උපකාර කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද කිවේය. අනතුර සිදු වූයේ තමා නැවතී සිටි හෝටලයේ අනාරක්ෂිත භාවය හා මුලික පහසුකම් නොතිබීම ඇතුළු කරුණු නිසා බව කී ඇමැතිවරයා තමා නැවතී සිටි හෝටලයට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන බවද කීවේය.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික සංවර්ධනය පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආරිය රූබසිංහ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ‍‍.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා