හාමතේ හිටියත්; ගම කන්ඩ එපා !

හාමතේ හිටියත්; ගම කන්ඩ එපා !

කුණු පළාතේ කොග්ගල ප්‍රසිද්ධියට පත් වූයේ සිංහලයේ මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ නිසා ය. ආණමඩුවේ නවගත්තේගම ප්‍රසිද්ධ වූයේ සයිමන් නවගත්තේගම නිසා ය. ඇරැව්වල ප්‍රසිද්ධ වූයේ ඇරැව්වල නන්දිමිත්‍ර නිසා ය. මේ අයුරින් පුද්ගලයන්ගේ විශේෂතා මත ඇතැම් ගම් පළාත් ප්‍රකට විය.

තවත් ගම් පළාත් ආවේණික කෑම - බීම ආදිය නිසා ප්‍රකට විය. බිබිලේ දොම් ය. නාවල අන්නාසි ය. කොම්පඤ්ඤවීදියේ ඉඳිආප්ප ය. මේ අයුරින් කහවත්ත ප්‍රදේශය ප්‍රකට වූයේ වටිනා මැණික්වලට ය. එහෙත් වසර දෙක – තුනක සිට කහවත්ත ආන්දෝලනාත්මක පළාතක් බවට පත් වූයේ ස්ත්‍රී ඝාතන නිසා ය.

ස්ත්‍රී ඝාතන එකක් - දෙකක් නො ව රැල්ලක්ම කහවත්තේ දී දැකගන්නට ලැබිණි. පොලිසිය මහත් වෙහෙසක් දරා අපරාධකාරයන් නීතිය හමුවට ගෙන ආවේ ය. එහි දී දේශපාලනය හෝ මුදල් බලය හෝ සැලැකිල්ලට නො ගෙන සාධාරණ ලෙස ක්‍රියා කරන්නට ද පොලිසිය සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු ද අත් අඩංගුවට ගැනිණි.

වැරැදිකරුවන් පිළිබඳ විග්‍රහ ඉදිරිපත් කිරීමේ වුවමනාවක් අපට නැත. එය නීතියට අදාළ කාරණයෙකි. එහෙත් මේ ගම්මානවල ජීවත්වන සාධාරණ - යුක්තිසහගත හා යහපත් මිනිසුනට මේ සිදුවීම් මඟින් බලවත් පහරක් වදී. මෙබඳුම තවත් අපරාධයක් ගැන කතා කළ යුතුව තිබේ. ඊශ්වරදාසන් කේතීස්වරම් යනු තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ පමණක් නො ව එංගලන්තයේ ද ක්‍රිකට් සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් තිබිණි.

ඔහුට දීප්තිමත් අනාගතයක් තිබූ බව ද කිව යුතු ය. මේ ක්‍රීඩකයා වරින් - වර එංගලන්තයට ගියේ ය. එහි ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමකට ක්‍රීඩා කළේ ය. නැවත ශ්‍රී ලංකාවට ආවේ ය. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් සමඟ යුග දිවියට පිවිසුණේ ය. වැඩි කාලයක් ගියේ නැත. 2011 – අප්‍රේල් - 18 දා ත්‍රිකුණාමලයේ ස්ථානයක දී මේ තරුණයා කපා - කොටා අමානුෂික ලෙස මරණයට පත් කෙරේ.

ඊශ්වරදාසන්ගේ බිරිය පදිංචි ව සිටියේ එංගලන්තයේය. ඇය මේ ඝාතනය පෙරට දමා එංගලන්තයේ පුරවැසිභාවය ලබා ගන්නට උත්සාහ කළාය. දෙමළ ඩයස්පෝරාව මේ ඝාතනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ගිණුමට බැර කළේ ය. දෙමළ දේශපාලකයෝ කිහිප දෙනෙක් ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කළහ. අතුරුදන්වීම්, සුදු වෑන්, ඝාතන ගැන සඳහන් කරමින් මානව හිමිකම් ආයතන වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කැරිණි.

සියල්ලෙන් කියැවුණේ ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වන බව ය. ශ්‍රී ලංකාවේ පොලීසිය ඉතා සංයමයකින් යුතුව මේ අපරාධය ගැන කරුණු සොයා බැලී ය. රහස් පොලිසිය විද්‍යාත්මක පරීක්ෂණයක් මඟින් අපරාධකාරයන් හෙළිදරව් කළේය. මේ ඝාතනය සිදු කිරීමට අදාළ ප්‍රධාන වගඋත්තරකාරිය වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ ය. ඇය ගුවන් නියමුවකු සමඟ ඇති කරගත් අනියම් සබඳතාවක් නිසා මේ ඝාතනය සිදු කිරීමට මුදල් ලබා දී තිබේ.

ඝාතන සිදුවීමට අදාළ සියලු තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. අන්තර්ජාතික පොලිසියේ ද සහයෝගය මත අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත ය. අපේ රටේ සිදු වන අපරාධ හා ඒවාට ලබා දෙන නිර්වචන හා විවේචන සම්බන්ධයෙන් යම් අදහසක් මේ මඟින් සපයා ගත හැකි ය. දෙමළ ඩයස්පෝරාව හැමවිට ම ආරක්ෂක හමුදාවලට හා ශ්‍රී ලංකා රජයට චෝදනා ඉදිරිපත් කරයි. ඔවුන්ගේ අරමුණු උතුරු ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම හා ආණ්ඩුව අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ බලවත් අසීරුවට පත් කිරීම ය.

මිනිසුන්ගේ පෞද්ගලික කෝන්තර, පවුල් ආරවුල් පමණක් නො ව ළමයින්ගේ ගැටුම් පවා ඒ සඳහා උපයෝගී කර ගැනේ. මීට දසක තුනකට පෙර කොටි සංවිධානය ක්‍රියාත්මක වූ ආකාරයෙන් ම දෙමළ ඩයස්පෝරාව ද කටයුතු කරනු දකින්නට ලැබේ. දෙමළ ඩයස්පෝරාව හෙවත් කොටි ඩයස්පෝරාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විවේචන දෙමළ ජනතාවට ද තිබේ. මීට සතියකට පෙර ප්‍රංශයේ දී අපූරු සංවිධානයක් බිහි විය. එය “ටැමිල්ස් ෆෝ ශ්‍රී ලංකා” නම් විය.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව යන රටවල සිට ලෝකය පුරා දෙමළ ජනතාව අතර මේ සංගමය ප්‍රචලිත වෙමින් පවතී. එහි අරමුණ වන්නේ කොටි ඩයස්පෝරාව අන්තර්ජාතික ප්‍රජාව වෙත මුදාහරින අසත්‍යවලට පිළිතුරු සැපයීම ය. නැතහොත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැන සත්‍යය ප්‍රකාශ කිරීම ය. කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද දෙමළ දේශපාලකයන්ගේ දරුවෝ ද එම සංගමයෙහි සිටිති. අසත්‍ය ප්‍රචාර මඟින් රටක කීර්තිනාමය විනාශ කළ හැකි ය. රටට එරෙහි බලවේග ද නිර්මාණය කළ හැකි ය.

විදේශ රටවල සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයෝ තම පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් එබඳු බොරු අනන්තවත් කරති. ජපානයේ, කැනඩාවේ, ඉතාලියේ, ඕස්ටේලියාවේ, ස්විස්ටර්ලන්තයේ, ප්‍රංශයේ හා වෙනත් රටවල ද දේශපාලන රැකවරණ ඉල්ලා සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයෝ තමනට මරණීය තර්ජන ඇතැයි බොරු අභියාචනා ඉදිරිපත් කරති. සමහරු දේශපාලන පළිගැනීම් ගැන කියති. මේ සියල්ල අමූලික බොරු ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ ද පිටරට ගොස් වීසා ලබාගැනීම සඳහා මේ බොරුව කරති.

මේ තරමින් කුමන්ත්‍රණ පවතින කාලයක් මීට පෙර අප දැක නැත. එක අතකින් දේශපාලන කුමන්ත්‍රණ පවතී. තව අතකින් ආර්ථික කුමන්ත්‍රණ පවතී. ආණ්ඩුව අපහසුවට පත් කිරීම, බලය බිඳ හෙළීම, ආර්ථිකය කඩාකප්පල් කිරීම ඉලක්ක අතර පවතී. ත්‍රස්තවාදයෙන් හා බෙදුම්වාදයෙන් මුදාගත් රටට ඉදිරියට යෑමට බාධා පවතී. එම බාධා ඇති කරනුයේ රටට එරෙහි දේශද්‍රෝහී කණ්ඩායම් ය. මේ කණ්ඩායම් පරාජය කළ යුතු ය. එලෙස ම ඔවුන් හෙළිදරව් කළ යුතු ය. නො එසේ නම් අපට ගමනක් නැත. මෙහි දී මහා පරිමාණ කුමන්ත්‍රණකරුවන් ගැන පමණක් නො ව ගම කන ප්‍රෝඩාකාරයන් ගැන ද සිතා බැලිය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා