මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපතිතුමායි

මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපතිතුමායි

ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ත වූ වසර තුන තුළ අපට හිමි වූ ප්‍රතිලාභ, මුස්ලිම් ජනතාව ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව අතර ඇති සබඳතාව හා මෙවර හජ් වන්දනා සංවිධාන කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ.

* දශක තුනක ත්‍රස්තවාදය පරාජය කැර මේ වනවිට වසර තුනක් ගත වී තිබෙනවා. එහි ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබී තිබෙනවාද?

ත්‍රස්තවාදය පරාජය කිරීමේ ඉහළම ප්‍රතිලාභය තමයි බියක් සැකක් නොමැතිව රටේ ජනතාවට ජීවත්වීමට නිදහස උරුම කර දීම. අද පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවටත් කොළඹ සිට සන්ගමන්කන්දතුඩුව දක්වාත් රටේ ඕනෑම තැනකට බියක් සැකක් නැතිව යන්න පුළුවන්. මීට අවුරුදු තුනකට පෙර රටේ එහෙම තත්ත්වයක් තිබුණාද? අද මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ආදී හැම ජනතාවක්ම සතුටින් ඉන්නවා.

ඒ වගේම අද බලන්න රටේ හැම තැනම යෝධ සංවර්ධන ව්‍යාපෘති. මගේ ජීවිත කාලය පුරාවට මේ වගේ සංවර්ධන ව්‍යාපෘති දැකලා නැහැ. අධිවේගී මාර්ග අපේ රටට සිහිනයක් විතරක් වෙලා තිබුණේ. අද අපිට ඒවා සිහින නොවේ. ඇත්තෙන්ම ඒවා අද අපට අත්විඳින්නට ලැබිලා තියෙනවා.

ගුවන්තොටුපල, වරාය, අධිවේගී මාර්ග, මහාමාර්ග, ජලවිදුලි ව්‍යාපෘති වාරිකර්මාන්ත මේ රටේ සංවර්ධනය නොවේද? මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයන් මීට පෙර රටේ තිබුණාද? ඇත්තෙන්ම ඊර්ෂ්‍යාවෙන් පටු දේශපාලන කෝණවලින්, පාට කණ්නාඩිවලින් නොබැලුවොත් හැමෝගෙම හදවත්වල රටේ වෙනස හොඳින්ම තේරේවි. හැම අතින්ම රටේ මේ වෙනස ත්‍රස්තවාදය පරාජය කිරීමේ ප්‍රතිලාභ නොවේද? අවංකව අපි කවුරුත් හදවත්වලට තට්ටු කැර එය තේරුම් ගත යුතුයි

* ආණ්ඩුව පැත්තෙන් ඔය විදියට ප්‍රකාශ කළත් විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබී ඇති බවයි.

රටට කොයි තරම් යහපත් දේවල් ආණ්ඩුව විසින් ඉටු කළත් විපක්ෂයට ඒ දේවල් එකක්වත් පෙනෙන්නේ නෑ. ත්‍රස්තවාදය පරාජය කිරීමම කොයි තරම් වැදගත්ද? අද ඒකවත් ඇතමුන්ට පිළිගන්න බැරිවීම කනගාටුවට කරුණක්.

එදා දසදහස් ගණන් ජීවිත අහිමිවුණ දේපල තවමත් ගණනය කරන්න බැහැ. අද එහෙම තත්ත්වයක් නෑ. අපි මේවා අමතක කරන්න හොඳ නැහැ. මං මුලින් ප්‍රකාශ කළ ආකාරයට ඊර්ෂ්‍යාවෙන් තොරව පාට කණ්නාඩි නොදමා පටු දේශපාලන කෝණවලින් නොබලා බැලුවොත් රටේ වෙනස හදවතට දැනෙනවා. ඒ නිසා විපක්ෂය ප්‍රමුඛ ඒ කණ්ඩායම්වලට මම කියනවා අපි සත්‍යයට ගරු කරමු කියා.

* විශේෂයෙන් ත්‍රස්තවාදය නිසා උතුරේ දෙමළ ජනතාව වගේම නැඟෙනහිර මුස්ලිම් ජනතාවත් විශාල පීඩාවක් වින්ඳා. අද එම පළාතේ ජනතාව සැබවින්ම සතුටින්ද ඉන්නේ?

මං මුලින්ම කියන්න ඕනෑ ත්‍රස්තවාදයට මෙන්ම ත්‍රස්තවාදියාට සිංහල ද මුස්ලිම් ද දෙමළ ද බර්ගර් ද කියා වෙනසක් නැහැ. ඒ වගේම පළාතක් ප්‍රදේශයක් නෑ. ත්‍රස්තවාදය නිසා සියලු ජනතාව සියලු පළාතක් ම පිඩා වින්ඳා. විශේෂයෙන් උතුරු නැඟෙනහිර ජනතාව වැඩිවශයෙන් ඉන් පීඩා විඳි බව අපි කවුරුත් දන්නවා. ඇත්තෙන්ම මුස්ලිම් දේශපාලනඥයකු විදිහට මං කියන්න ඕනෑ නැඟෙනහිර විතරක් නොවේ රටේම මුස්ලිම් ජනතාව අද උපරිම සතුටින් ඉන්නවා.

* ජිනීවා යෝජනාවේදී ලෝකයේ මුස්ලිම් රාජ්‍යයන් බොහොමයක් අපේ රටට සහාය දැක්වූවා. මෙය අන්තර්ජාතික වශයෙන් වැදගත් ප්‍රවණතාවක් නේද?

එම රාජ්‍යයන් ඔක්කොම වගේ අපිත් සමඟයි හිටියේ. අපේ රට ගැන වගේම ජනාධිපති තුමා පිළිබඳ ලොව පුරා මුස්ලිම් රටවල් අද විශාල විශ්වාසයක් තබා තිබෙනවා මෙන්ම ප්‍රසාදයකින් සිටින්නේ. මේක තේරුම් ගත යුතු මුස්ලිම් ජනතාව සියයට සියයක්ම ජනාධිපතිතුමා සමඟයි. ජිනීවා යෝජනාවලදී වගේම සෑම විටම මුස්ලිම් රටවල් අපිත් සමඟ සිටිනවා. අද බලන්න ඒ රටවල් අපේ රටේ සංවර්ධනයට කොයි තරම් සහයෝගයක් ලබා දෙනවාද? මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවක්.

* දඹුල්ල මුස්ලිම් පල්ලියේ සිද්ධියේදී ඇතැම් කණ්ඩායම් පටු දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කළ බවට ආණ්ඩුව පැත්තෙන් චෝදනාවක් තියෙනවා නේද?

ඔව් ඇත්ත ඇතැම් කණ්ඩායම් මින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කළා. එහෙත් අපේ බුද්ධිමත් මුස්ලිම් ජනතාව ඔවුන්ගේ ඉත්තන් වන්නට ගියේ නැහැ. ඒ නිසා එම කණ්ඩායම්වල අරමුණු ඉටු කැර ගැනීමට නොහැකි වුණා. මං කියන්නේ මේක අපි සියලු දෙනාගේ රට. අපි ඔක්කොම ජාති ආගම් කුලබේදයෙන් තොරව ශ්‍රී ලාංකික කියන හැඟීමෙන් ජීවත්විය යුතුයි.

විශේෂයෙන් මං මුස්ලිම් ජනතාවට කියනවා අපේ ජනාධිපතිතුමා හැම ජනකොටසකටම එක හා සමානව සලකන නායකයෙක්.ඒ නිසයි අපි විපක්ෂයේසිටිත් එතුමා සමඟ එක්ව ක්‍රියා කරන්නේ. ලෝකයේ මුස්ලිම් රටවල් අද එතුමා සමඟ සිටීමෙන් මේ විශ්වාසය තහවුරු වෙලා තියෙනවා. කුමන කණ්ඩායමකටවත් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම ඉඩ නොදිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනා එකම රටක එකම ජාතියක් යන හැඟීමෙන් ක්‍රියා කළ යුතුයි.

* පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔබ විශාල කාර්යභාරයක් ඉටු කළා අද ඒ ගැන මොනවාද හිතෙන්නේ.

ඇත්තෙන්ම කනගාටුවක්. ඒ මොකද ඔහු කවුද කියා අපිට එදා හරියට තේරුම් ගන්න බැරි වුණා. අපි පක්ෂයක් විදිහට තමයි එදා ඔහුට උදවු කළේ. නමුත් මං ඔහු කවුද කියා මුලින්ම තේරුම් ගත්තේ පක්ෂයේ ලකුණ පවා අහිමිකැර ගනිමින් එදා එජාපය ඔහු වෙනුවෙන් කටයුතු කළ අවස්ථා‍ෙව්දීයි. එහෙත් ඔහු මුළු පක්ෂයම පාවා දෙමින් මහා මැතිවරණයේ දී ජ.වි.පෙ. සමඟ එකතු වුණා. ඔහු වෙනුවෙන් කටයුතු කළා. එ. ජා. ප පාක්ෂිකයන්ට ඔහු කෘතගුණ සැලකුවේ නැහැ. ඔහුට කිසිම දේශපාලන භූමිකාවක් නැහැ.

* මුස්ලිම් ජනතාව එ. ජා. ප. ය සමඟ බොහොම සමීප පිරිසක් බවට මතයක් තියෙනවා නේද?

ඔය මතය අදට කිසිම වලංගුතාවක් නැහැ. මීට අවුරුදු ගණනාවකට පෙර එහෙම තත්වයක් තිබුණා. එහෙත් මහින්ද රාජපක්‍ෂ කියන දැවැන්ත දේශපාලන චරිතය රටේ සෑම ජනකොටසකටම එක හා සමානව සලකන නිසා මේ රටේ මුස්ලිම් ජනතාවට අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර වෙන නායකත්වයක් අවශ්‍ය නහැ. මේ වනවිට මුස්ලිම් ජනතාව ඉතා විශාල වශයෙන් ජනාධිපතිතුමා හා එක්වී සිටිනවා.

බලන්න එදා එ. ජා. පයේ හිටපු බොහෝ මුස්ලිම් නායකයන් අද සිටින්නේ ජනාධිපතිතුමා සමඟයි. ඒ නිසා මීට අවුරුදු ගණනකට පෙර තිබුණු තත්ත්වය නොවෙයි අද තිබෙන්නේ. පසුගියදා මම ගම්පොළදී විශේෂ හමුවක් පැවැත්වූවා. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ඉතාම ප්‍රබල මුස්ලිම් නායකයන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වුණා. අද ජනාධිපතිතුමන් ආණ්ඩුවත් හොඳින් කටයුතු කරනවා. මෙහෙම හොඳට කටයුතු කරන පාලනයක් පෙරළීමට හෝ පාලනයකට එරෙහිවීමට අපිට අවශ්‍ය නැහැ.

අපේ ආගමේ හැටියට එය ආගමටත් හොඳ නැහැ. අපේ ආගමේ හැටියට එයට කියන්නේ හරාම් කියායි. තවත් වසර ගණනක් යනතුරු මේ පාලනය කාටවත් වෙනස් කරන්න බැහැ. අද බලන්න ජනාධිපතිතුමා සමඟ හොඳ පිරිසක් සිටිනවා. ඒ අය එතුමාට වැටෙන්න දෙන්නේ නැහැ. හරියට එතුමා වටේට කොන්ක්‍රීට් බැම්මක් දමා තිබෙනවා වගේ ශක්තිමත්. ඩී. එස්, ඩඩ්ලි බණ්ඩාරනායක, ජේ ආර්, සිරිමාවෝ , ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා මේ කිසිම නායකයකුට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ.

* මෙවරත් ඔබ හජ් වන්දනා කමිටුවේ සිටිනවා. මෙවර හජ් වන්දනාව සඳහා මෙරට සංවිධාන කටයුතු කොහොමද?

මේ කමිටුවේ සම සභාපතිවරයකු ලෙස මම කටයුතු කරනවා. පසුගිය හජ් වන්දනා සමයේ දී ගැටලු රැසක් ඇති වුණා. මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි වග බලා ගන්නවා. ගිය වර බැතිමතුන්ගෙන් මුදල් එකතු කර 21 දෙනකු හජ් වන්දනා කර තිබෙනවා. එය වැරදියි. හජ් වන්දනාකරුවන් සඳහා අපිට හරාර් වීසා, බේසා කියා දෙකක් ලැබෙනවා. මෙවර සවුදියෙන් අපට බේසා 150ක් ලැබෙනවා. ඒක නොමිලේ වන්දනාකරුවන්ට ලබා දිය යුතුයි. ඒවගේම වීසා 2800 ක් අපට ලැබෙනවා. මේවා සාධාරණව වන්දනාකරුවන්ට බෙදා දිය යුතුයි. සවුදි වන්දනාකරුවන්ට වීසා කලින්ම බෙදා දිය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා