රට පුරා බෞද්ධ උරුමයන් ගොඩනැඟීම කාටවත් නවත්වන්න බෑ

බෞද්ධ උරුමයන් ගොඩනැඟීම කාටවත් නවත්වන්න බෑ

-ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

වසර 30 ක යුද්ධය අවසන් කිරීමට රණවිරුවන් වගේම මහා සංඝරත්නයේ ද කැපවීම, ආශිර්වාදය මට මෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ද ලොකු ශක්තියක් වුණා. එමෙන්ම දැනට ඇතිව තිබෙන විවිධ අභියෝග වලට මුහුණ දීමට ද මහා සංඝරත්නය පෙරමුණ ගතයුතු බව රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

පූජා නගරයේ සංවර්ධන කටයුතු නැරඹීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එයට අදාළ පලකය නිරාවරණය කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන,ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුලු මන්ත්‍රීවරුන් මෙහි වෙති.

ඡායාරූප- මාතර සමූහ ඩබ්ලිව්.පී.ධර්මසේන.

ආරක්ෂක ලේකම්තුමා දඹරන් පිළිමවහන්සේ නිරාවරණය කරන අයුරු

පැමිණ සිටි සඟරුවන ඇතුලු පිරිස

හෙතෙම මේ බව පැවසුවේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය පූජා නගරයක් කිරීමේ කටයුතු අරඹමිනි.

සමාජයේ විවිධ අය වැරදි මත ප්‍රකාශ කරමින් ලෝකයාට වැරදි චිත්‍රයක් පෙන්වීමට උත්සාහ ගත්තත් බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැගීම කාටවත් වළක්වන්න බැහැ. එය අපේ උරුමයක්. අවුරුදු ගණනාවක් තිස්සේ පැවති යුද්ධය අවසාන වීමෙන් පසු රටේ විශාල ආගමික පුනර්ජීවනයක් ඇති වී තිබෙන බව පසුගිය වෙසක්, පොසොන් යන දිනවල බෞද්ධ සිද්ධස්ථාන වලට එකතු වී සිටි සැදැහැවතුන්ගෙන් පැහැදිලි වෙනවා. තරුණ තරුණියන් විශාල ලෙස ආගමික කටයුතුවලට නැඹුරු වී විශාල ආගමික පිබිදීමක් ඇති වී තිබෙනවා.‍ මෙය නැතැයි කීමට විවිධ අය උත්සාහ ගන්නවා. අපේ රට බුද්ධ ධර්මය ඉදිරියට පවතින රටක්. සමාජයේ විවිධ වැරදි පෙන්වන විවිධ බලවේග තියෙනවා. ඔවුන් අපේ රටේ අපරාධ රැල්ලක් තිබෙන බවට පෙන්වන්න උත්සාහ ගත්තත් එවන් අපරාධ රැල්ලක් නැහැ. ජනගහණය වැඩිවීමත් සමඟ අපරාධ අඩු වෙලා.

නමුත් සිදුවන අපරාධවල සැහැසිකම වැඩි වෙලා. එදා පොල්ලෙන් ගහලා සිදු කරන ඝාතන ටී 56 න් කිරීමට මිනිසුන් පෙළෙඹිලා. පසුගිය වසර 30 ක යුද්ධයත් සමඟ ටී 56 ගිනි අවි රට තුළට ගෙනැවිත් තිබීම මෙයට හේතුවයි.මෙවැනි අපරාධ මාධ්‍ය තුළින් ප්‍රකට ලෙස පෙන්නුම් කරනවා.විවිධ රාජ්‍ය නොවන සංවිධාන නොයෙකුත් අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් අසත්‍ය තොරතුරු ලෝකයට පතුරනවා. කවුරුත් මෙම යුද්ධය දිනන්න බෑ, එම නිසා යුද්ධයට අතගහන්න එපා කියද්දී සැලැස්මක් ඇතිව ඥනාන්විතව කටයුතු කරමින් එම යුද්ධය අවසන් කිරීමෙන් අපිට ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තියක් තිබෙන බව මැනවින් ඔප්පු කර තිබෙනවා.

මෙම විහාරස්ථානය ලංකාවේ බෞද්ධ ජනතාව වැඳ පුදාගන්නා සිද්ධස්ථානයක් මෙන්ම බුදු දහම ලෝකයට දේශනා කරන භික්ෂූන් වහන්සේලා බිහිකරපු සිද්ධස්ථානයක්. දැනට අභාවයට ගොස් ඇති වෙහෙර විහාර සිද්ධස්ථාන නැවත සකස්කර ගෙන ධර්මය ප්‍රචාරය කිරීමට උපාධිධාරී තරුණ භික්ෂූන් වහන්සේලාට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ සඳහා රජයක් වශයෙන් උපරිමසහාය ලබා දීමට කටකටයුතු කරනවා.

පසුගිය යුද්ධය නිසා උතුරු නැගෙනහිර විහාර බොහෝ ප්‍රමාණයක් විනාශ වෙලා.‍ මේ වන විට අපේ රණවිරුවන් යොදාගෙන ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර යන ප්‍රදේශවල සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවට එම සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. එම නිසා වසර 30 ක යුද්ධය අවසන් කොට ලැබූ නිදහසත් ආගමික ප්‍රබෝධයත් ප්‍ර‍යෝජනයට ගෙන අපේ සංස්කෘතියත් රැකගෙන රටක් වශයෙන් ඉදිරියට යාම අප සියලු දෙනාගේම වගකීමක්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා,

භික්ෂූන් වහන්සේලා උපහාසයට අපහාසයට ලක් වීම නිසා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් වැසීයාමට පටන්ගෙන තිබෙනවා.සංඝයා වහන්සේ රැක ගැනීම,දිරිමත් කිරීම අපේ වගකීමක්.මෙම විහාරස්ථානය පූජා නගරයක් කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ක්ෂණිකව ගත් ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා.කෝට්ටේ ශ්‍රී කළ්‍යාණ ධර්ම ශ්‍රී සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය ගොඩපිටියේ රාහුල,මාතර වෙහෙරහේන පූර්වාරාම

රජමහා විහාරාධිපති ශ්‍යාමෝලි වංශික මහා නිකායේ දක්ෂිණ පාර්ශවයේ අනුනායක කෑගල්ලේරතනසාර,මැලේසියාවේ විහාරාධිපති මහින්ද යන හිමිපාණන් වහන්සේලා අනුශාසනා පැවැත්වූ අතර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද කතා කළේය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය,දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර,දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අරුණ ගුණරත්න,වීරසුමන වීරසිංහ,ඩී.ඩබ්ලිව්.ප්‍රතාපසිංහ,ජයන්ත කොඩිතුවක්කු යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයන් ද මාතර මහ දිසාපති ඩබ්ලිව්.කේ.කේ.අතුකෝරළ මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් දමේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා