කිරිඇල්ල අද කොටි සපත්තු ලෙවකයි

කිරිඇල්ල අද කොටි සපත්තු ලෙවකයි

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි

ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී රණවිරුවන් දැවැන්ත යුද ජයග්‍රහණ මවුබිමට ලබා දෙද්දී ඕනෑ ගොනකුට යුද්ධ කළ හැකි යැයි පවසමින් එදා මාතෘ භූමියට ද්‍රෝහි වූ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මුලසුනට පවා අවනත නොවී කොටි සෙවණැලිවල සපත්තු ලෙවකෑමට අද ක්‍රියා කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

බ්‍රිතාන්‍ය රජයේ ආරාධනයකින් එරටට ගිය ජනාධිපතිතුමන් සමග තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනකු හා පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රධානියකු එරට ව්‍යාපාරික හමුවක් ඇමතීමට නියමිතව තිබූ අතර එය අවලංගු කිරීම පිළිබඳ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙරේදා (08) පාර්ලිමේන්තුවේ ක්‍රියා කළ ආකාරය අතිශය සෝචනීය බවද අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් එය අවලංගු කිරීමේ වගකීම එරට රජය බාරගත යුතු යැයි ද එය එසේ තිබියදී කිරිඇල්ල වැනි මන්ත්‍රීවරුන් තවමත් එල්ටීටීඊ යට කඩේ යාම නවත්වා නොමැති යැයි ද රඹුක්වැල්ල මහතා කීය.  එල්.ටී.ටී.ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කැර එය බ්‍රිතාන්‍යයේ තහනම් කැර තිබියදී වෙනත් රාජ්‍යයක රාජ්‍ය නායකයන්ට බාධා කරමින් එම ත්‍රස්තවාදී පිරිස් ක්‍රියා කරන්නේ නම් එහි වගකීමද එම රජය භාරගත යුතු බව අමාත්‍යවරයා පවසයි.

එජාපයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල ලෙස ක්‍රියාකරන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ. ඕනෑ එපාකම් වෙනුවෙන් ක්‍රියා කරන්නේ නොදැනුවත්කමින් නොවන බවත් මේ තුළ ඇත්තේ මුලුමනින්ම මාතෘ භූමියට ද්‍රෝහි වීමක් බවත් අමාත්‍යවරයා පැවසීය. මවුබිමෙන් ත්‍රස්තවාදය තුරන් කැර වසර තුනක් ගත වුවද තවමත් එය ඉවසා දරාගත නොහැකිව ක්‍රියා කරන විපක්ෂයේ මෙවැනි පිරිස් ජාත්‍යන්තරයේ එල්.ටී.ටී.ඊ. හොල්මන්වලට ජීවය දීමට උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බවද රඹුක්වැල්ල මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා