ත්‍රස්තවාදී තිප්පොළ විනාශ කිරීමට පාකිස්තානය අපොහොසත් වීම ගැන අමෙරිකාවෙන් දොස්

ත්‍රස්තවාදී තිප්පොළ විනාශ කිරීමට පාකිස්තානය
අපොහොසත් වීම ගැන අමෙරිකාවෙන් දොස්

පාකිස්තානය අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ අමෙරිකානු බලඇණිවලට ප්‍රහාර එල්ල කරන කැරලිකරුවන්ගේ රැකවරණ ස්ථාන විනාශ කිරීමට අපොහොසත් වීම අමෙරිකාවේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නක් බවට පත්ව ඇතැයි එරට ආරක්ෂක ලේකම් ලියොන් පැනීටා පෙරේදා අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනගරය වෙත පෙරේදා හදිසියේ ම පැමිණි ආරක්ෂක ලේකම්වරයා පාකිස්තානයටත් අල්කයිඩා සබැඳි හකානි සංවිධාන ජාලයටත් චෝදනා එල්ල කළේය. කාබුල් නගරයේ පස් පැයක පමණ කාලයක් ගත කිරීමෙන් පසු ඔහු නික් ම ගිය අතර ඇෆ්ගන් ජනාධිපති හමිඩ් කර්සායි චීනය බලා යන ගමනක් අතර මග නතර කර ආපසු සිය රට පැමිණ තිබුණේ ගුවන් ප්‍රහාරයකින් හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 40 ක් පමණ ඝාතනය වී තිබීම නිසාය.

කෙසේ වෙතත් 2014 දී ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකා හමුදා ඉවත්කර ගැනීමේ සැලසුම් සකස් කරන ලියොන් පැනීටා මෑතක දී ඇෆ්ගන් ප්‍රචණ්ඩකාරිත්වය උත්සන්න වී ඇතත් පසුගිය කාලය සමඟ සැසඳීමේදී සමස්ත ප්‍රචණ්ඩකාරිත්වය අඩුවී ඇතැයි කියා සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ දස වසරක් ගතව ඇති යුද්ධයේදී එරටට දරුණු ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ පාකිස්තානයේ උතුරු වසිරිස්තාන ප්‍රදේශයේ රැකවරණය ලැබ සිටින තලේබාන් හා අල්කයිඩා සබැඳි හකානි කණ්ඩායම යි.

පාකිස්තානයේ ඔවුනට රැකවරණය ලැබෙන ප්‍රදේශවල සිට අමෙරිකා හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන බව පවසන පැනීටා දැන් අමෙරිකාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි පවසා තිබේ. ත්‍රස්තවාදීන්ට රැකවරණය ලැබෙන පාකිස්තාන ප්‍රදේශ විනාශ නොකර ඇෆ්ගන් යුද්ධය ජය ගත නොහෙන බව අමෙරිකා රජය ද කියා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා