ඔබ නික්ම ගියේය... ඉඩෝරය පැමිණ ඇත

ඔබ නික්ම ගියේය... ඉඩෝරය පැමිණ ඇත

පසුගියදා අප අතරින් වියෝවූ සිනමා කැමරා අධ්‍යක්‍ෂ සුමින්ද වීරසිංහ, සිනමා හා වේදිකා රංගන ශිල්පීන් වන නවනන්දන විජේසිංහ හා වික්ටර් රාමනායක ගැන රඟසොබා තබන සටහනකි මේ.

පසුගිය සතිය ගෙවී ගියේ කලා ලෝකයට ශෝකී හිඩැස් කිහිපයක් ඇති කරමිනි. මෙරට වේදිකා නාට්‍ය කලාවේ හා සිනමාවේ වර්ධනයට අනගි දායකත්වයක් දුන් ශිල්පීන් තිදෙනෙක් එම කෙටි කාලය ඇතුළත අප හැර ගියේ ය.

සුමින්ද වීරසිංහ, වික්ටර් රාමනායක, නවනන්දන විජේසිංහ ඔවුන් තිදෙනා ය. ආසන්න සතියේ තවත් ජනපි‍්‍රය හාස්‍ය රංගන ශිල්පියෙක් වූ ජනේ්ශ් සිල්වා මිය ගියේ ය. ඔවුන් අතරින් සාමාන්‍ය ආයු කාලය බුක්ති විඳීමේ භාග්‍ය ලද්දේ නවනන්දන විජේසිංහ රංගන ශිල්පියා පමණි.

වර්තමානය වන විට පුද්ගල පරමායුෂ ඉහළ යාම නැතහොත් වැඩිහිටි ජනගහනය වර්ධනය වීම අනාගත ගැටලුවක් ලෙස සාකච්ඡාවට ගැනේ. එහෙත් ලාංකේය කලාවට බලපාන ඉදිරි ගැටලුව වන්නේ දීර්ඝ කාලීන පුහුණුවක් අපේක්‍ෂා කරන කැපවීමක් සහිත ආරම්භක පියවරයන් ගේ සිට ඉහළ ගමන් කිරීමට අපේක්‍ෂා කරන දක්‍ෂතා සහිත ශිල්පීන්ගේ හිඟය ය. ගෙවී ගිය සතියේ සෞන්දර්ය කලා අවකාශයෙන් ඈත් වූයේ එබඳු කැපවීමක් දැක් වූ පරිණත කලාකරුවන් තිදෙනෙකි.

සම්මානනීය සිනමා කැමරා අධ්‍යක්‍ෂ සුමින්ද වීරසිංහ නිර්මාණ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වූයේ තවත් එවැනිම විශිෂ්ඨයෙක් වූ සුමිත්ත අමරසිංහ ඇසුරේ ය. ඔහුගේ සහය කැමරා ශිල්පියා වීම සුමින්ද ට වැඩ බිමක් වූයේ ය. රංගන ශිල්පී වික්ටර් රාමනායක වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස හා ස්ත්‍රී (1974) නාට්‍ය දෙකෙහි රඟපෑමෙනි. අනතුරුව ඔහු දීර්ඝ කාලයක් රඟපෑමෙන් හා සහය අධ්‍යක්‍ෂණයෙන් ධර්මසිරි බණ්ඩාරනායක ගේ නිර්මාණයන්ට දායක වූයේ ය.

නන්දනීය වින්දනය

සිනමා හා වේදිකා රංගන ශිල්පී නවනන්දන විජේසිංහ රංගනයට සම්බන්ධ වූයේ උපාලි වනසිංහ ගේ ‘දස්කොන්’ නාට්‍යයෙනි. පසුව එම නාට්‍ය සිනමාවට නැඟුණු විට ඔහු එයට ද එක්වෙමින් සිනමා රංගන ශිල්පියෙක් බවට පත් වූයේ ය.

නවනන්දන යන නම ඇසූ පමණින් මතක් වන්නේ ඔහු රඟ පෑ හාස්‍යයෙන් පිරි වේදිකා නාට්‍ය හෝ සිනමා ජවනිකාවකි. ඔහු කලක් මෙරට දක්‍ෂතම අභිරූපණ රංගන ශිල්පියෙක්ව සිටියේ ය. නවනන්දන එම නිර්මාණ කාර්යයට පිවිසෙන විට මෙරට අභිරූපණ කලා ක්ෂේත්‍රයේ හතර මායිම්වත් නිශ්චිතව සටහන්ව තිබුණේ නැත.

නිරූපණ ශිල්පියෙක් ලෙස මුහුණින් සියුම් භාවයන් තාත්විකව දැක්වීමේ ඛ්ැකියාවක් නවනන්දන සතු විය. ඔහුට එය දායාද වන්නට ඇත්තේ අභිනය කලාවෙන් විය යුතුය.

සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ප්‍රේම රංජිත් තිලකරත්න, දයානන්ද ගුණවර්ධන වැනි පුරෝගාමීන් ගේ මුල් කාලීන නිර්මාණයන්ට නවනන්දන රංගනයෙන් දායක විය. 1964 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දී රංගනය සඳහා හොඳම නළුවාට හිමි අග්‍රාණ්ඩුකාරවරයා ගේ ත්‍යාගය දිනා ගන්නා ලද්දේ නවනන්දන විජේසිංහය. ඒ ප්‍රේම රංජිත් තිලකරත්නගේ “වහලක් නැති ගෙයක්” නාට්‍ය සඳහා ය.

බෝඩිංකාරයෝ, ජනේලය, හරිම බඩු හයක්, හෙලේ නැග්ග ඩෝන් පුතා ඔහු රංගනයෙන් දායක වූ හතළිහකට ආසන්න නාට්‍ය අතරින් කිහිපයකි. ඔහු ඊට අමතරව ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, නීල් අලස්, කේ. බී. හේරත්, ප්‍රසන්න විතානගේ, වැනි නාට්‍යකරුවන් රැසකගේ සාර්ථක හා ජනපි‍්‍රය නාට්‍ය රාශියකට රංගනයෙන් දායකව ඇත.

එලෙසම නවනන්දන චිත්‍රපට සියයකට ආසන්න ගණනක රඟපා ඇත. ඔහු හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස හැඳීන් වුවද යථාර්ථවාදී ශෛලියේ සිනමා කෘතින් කිහිපයක් ද ඔහුගේ රංගනයෙන් හැකියාවෙන් ඔපවත් කර ඇත. ද්විතීයික හා අප්‍රධාන චරිත මතකයේ රැඳෙන චරිත බවට පත් කළ රූපණ ශිල්පියෙක් ලෙස නවනන්දන සැලකේ. ලෙස්ටර් ගේ “බැද්දේගම” චිත්‍රපටයේ ඔහු රඟපෑ “කාසින් ලෙබ්බේ” ගේ චරිතය හා “දෙලොවක්” අතර චිත්‍රපටයේ නිරූපණය කළ කෙටි නළු භූමිකා එයට නිදර්ශන ය. එවැනිම රංගන කෞෂල්‍යයක් ‘සිහින හතක්’ චිත්‍රපටයේ මිනී පෙට්ටි සාප්පු සේවකයාගේ හා ‘වැලිකතර’ සිනමාවේ එන බට්ලර් ගේ චරිතයේ දැකගත හැකි ය.

නවනන්දනගේ රංගනය පසු කාලීනව වාණිජ සිනමාවේ නිත්‍ය අංගයක් විය. එලෙස ඔහු වර්ණවත් කළ චිත්‍රපට අතරින් මධු සිහින, චෙරියෝ ඩොක්ටර්, කිංකිණි පාද, මේජර් සර්, වීදුරු ගෙවල්, සලඹක් හඬයි දැක්විය හැකිය.

“සොමිය” නම් කැසට් පටයට ඔහුම රචනා කර ගායනා කළ “සීනි මෝදරින් ගෙනාපු දෝන කතරිනා” ගීතය හා “ජෝඩු ජෝඩුමයි එන්නේ” ඔහුගේ තවත් දක්‍ෂතාවයක් පෙන් වූයේ ය. ඒවා පසුව තුඩ අඟ රැව් දෙන ගීතයක් බවට පත්විය.

හ‍ඬෙහි පෞර්ෂ්‍යය

ඝෝෂා කිරීමෙන් හෝ “මේ ඇහුණ ද?” යනාදි ලෙස නෙළුම් කවි කියන තාලයට දෙබස් කීමෙන් ප්‍රේක්‍ෂකයා ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීම් සිංහල නාට්‍ය වේදිකාවේ අති සුලබ ය. මෙකී නාට්‍ය අතරින් මිනිස් හඬෙහි පෞරුෂය විහිදාලු රංගවේදීන් අහඹු ලෙස මතුවේ. වික්ටර් රාමනායක ඒ අතරින් ප්‍රමුඛයෙකි.

රංග භූමියේ පෙනී නොසිට, වේදිකාවේ පැති තිරයෙන් මෙපිට තැනක සිට කුඩා මිමිණීමක් වුවද රඟහලේ අවසන් කෙළවරේ අසුන්ගෙන සිටින ;ප්‍ර්ක්‍ෂකයාට පවා ඇසෙන පරිදි පැවසීමේ හැකියාවක් ඔහුට තිබිණ. වික්ටර් ගේ කටහඬ ගැඹුරු ය. නිරවුල් ය ප්‍රතාපවත් ය. එවැනි පෞරුෂවත් කටහඬක් රංගන ශිල්පියෙකුගේ නිරූපණයකට අමතර වටිනාකමක් එක් කරයි.

ධර්මසිරි බණ්ඩාරනායක ගේ ඒකාධිපති, ධවල භීෂණ හා යක්‍ෂාගමනය සහ ජයන්ත චන්ද්‍රසිරිගේ මෝරා ඔහුගේ අද්විතීය රංගන හැකියාවෙන් ආලෝක වූ නාට්‍ය අතරින් කිහිපයකි.

රූපයේ සෞන්දර්ය

භාව ප්‍රකාශනයෙහි ඔහු මිනිස් කටහඬ නිර්මාණාත්මක ලෙස හැසිරවීමට දැක්වූ දක්‍ෂතාවය නිසාම ගුවන් විදුලි නාට්‍යයන්ට හා හඬ කවන ලද රූපවාහිනි නිර්මාණයන්ට හේ් අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වූයේ ය.

සුමින්ද වීරසිංහ සිනමා රූප රාමුවේ සෞන්දර්ය සොයා ගිය කැමරා අධ්‍යක්‍ෂවරයෙකි. ඔහු රූප රචනය කළ සිනමා සිත්තමක ස්වකීය අනන්‍යතාවය සටහන්ව ඇත. ඔහු වර්ණයන්ගේ ගුණ නිර්භයව භාවිතා කළ සිත්තරෙක් වැනිය. සිනමා ඡායාරූපකරණය යනු අධ්‍යක්‍ෂවරයාගේ රූප ප්‍රකාශනය මැනවින් හඳුනාගත යුතු මාධ්‍යයක්ය යන්න හේ හොඳින් වටහාගෙන සිටියේය. ඔහු යුග කිහිපයකට අයත් අමරනාත් ජයතිලක, ගාමිණී පොන්සේකා, වසන්ත ඔබේසේකර, චන්ද්‍රරත්න මාපිටිගම, ප්‍රසන්න විතානගේ, බුද්ධික කීර්තිසේන, ජැක්සන් ඇන්තනී වැනි අධ්‍යක්‍ෂවරු රැසක් සමඟ සිනමාකරණයේ නිරතව සිටියේය.

චිත්‍රපටයක කැමරා ශිල්පියා අධ්‍යක්‍ෂවරයාගේ පෙම්වතිය වැනිය යන්න සිනමාවේ භාවිත ප්‍රචලිත අදහසකි. එයින් අදහස් වන්නේ සිනමා කැමරාකරණයේ නිරත වන්නා අධ්‍යක්‍ෂවරයාගේ ශෛලිය හා චින්තනය හඳුනාගත යුතුය යන්නය. සුමින්දට විවිධාකාරයේ සිනමා අධ්‍යක්‍ෂවරු යටතේ කටයුතු කිරීමට සිදු විය. එක් එක් අධ්‍යක්‍ෂවරයාගේ වුවද සිනමා සත්කාරය චිත්‍රපටය අනුව වෙනස් වේ. මේ තත්ත්වය මැනවින් හැඳීන සිනමා කෘතිය ඉල්ලා සිටින රූප රචනයක් ලබා දෙන අතරම එයට ස්වකීය මුද්‍රාව තබන්නට ද සුමින්ද සමත් විය.

සිනමා ඡායාරූපකරණයේ වෘත්තීයභාවය ආරක්‍ෂා කරන්නට මුල් වූවන් අතර ඔහු ප්‍රමුඛයෙකි.

මාවත් තුනක් නියෝජනය කළ කලාව ගැන වෙනස් අදහස් දැරූ දක්ෂ ශිල්පීන් තිදෙනෙක් මෙලෙස පසුගිය සතියේ අප හැර ගියේය. ක්ෂණිකාලෝක දල්වන වර්තමාන කලා අඹරෙහි ඔවුන් තිදෙන අනභිභවනීයය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා