මුද්‍රණය සඳහා

 
ඡන්ද හිමි වයස් සීමාව අවුරුදු දහ අට කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා

ඡන්ද හිමි වයස් සීමාව අවුරුදු දහ අට කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා: සංවර්ධනය වේගවත් වුණා

-ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර

1931 සිට ක්‍රම ක්‍රමයෙන් ඡන්ද හිමි වයස් සීමාව අවුරුදු 18 වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා. සංවර්ධනය වේගවත් වුණා. සාම්ප්‍රදායයික මතධාරින් වෙනුවට තරුණ මතධාරීන් ඒමෙන් පාර්ලිමේන්තුව බලවත් වුණා යැයි මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා කීය. ඒ මහතා මේ අදහස් පළ කළේ යොවුන් පාර්ලිමේන්තුවේ 7වන සැසිවාරයේ විශේෂ ආරාධිත දේශනය කරමිනි.

යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක එම්.එම්.එම්. අනීස් මහතාගේ ප්‍රධානත්වයෙන් 7වන සැසිවාරය මහරගම ශ්‍රී ලංකා යූත් පරිශ්‍රයේ ඉදි වූ විශේෂ පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

මෙදින න්‍යායපත්‍රානුකූලව සාකච්ඡාවට ගැනුණේ “ඡන්ද බලය වයස 18 සිට 16 දක්වා අඩුකළ යුතුද නැද්ද යන මාර්‍තෘකාවයි”.

ඩිව් ගුණසේකර මහතා මෙසේ ද පැවසීය.

1931 සර්ව ජන ඡන්ද බලය ලැබෙන කාලයේ තිබුණු සමාජ පරිසරය නෙවි අද තිබෙන්නේ. අද තරුණයා දැනුම, සහභාගිත්වය, ලෝක දැනුම අතින් ඉතාමත් ඉහළ තැනකයි ඉන්නේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යභාර තුනක් තියෙනවා. ජනතාව නියෝජන කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම හා සමාජයේ ප්‍රගමනයට අතදීම පළමු වැන්නයි. දෙවැන්න නීති සම්පාදනයයි. තෙවැන්න අධීක්ෂණයයි. එනම් පාර්ලිමේන්තුවේ නිර්මාණය කෙරෙන නීතිරිති ජනතාවගේ හිතසුවය සඳහා ක්‍රියාත්මක වෙනවාද නැද්ද නිරීක්ෂණය කිරීමයි.

ඡන්දය දීමේ අයිතිය පිළිබඳ වයස 30 - 25 - 21 වශයෙන් වෙනස් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට වඩාත් ළංකිරීමට අණපනත් රාශියක් දිවංගත බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළා. පරාධීනත්වයෙන්, ස්වාධිපත්‍ය කරා රට ගෙන ඒමට එම අණපනත් මහෝපකාරි වුණා. එයින් වඩාත් මත භේදයට තුඩු දුන් පනත වුණේ 18 ඡන්ද බලයයි.

ඒ වනවිට සර්වජන ඡන්ද බලය ඇරඹුණේ වයස 21 න්. එය 18 දක්වා අඩුකිරීමට 1959 දී ගෙනා පනත සාම්ප්‍රදායික නායකයින්ගේ දෝෂ දර්ශනයට ලක් වුණා. එදා පාර්ලිමේන්තුවේ හිටපු අගමැතිවරයෙකු වූ ජෝන් කොතලාවල මහතා එය හැඳින්වූයේ වඳුරන්ට දෙනවා කියා යි.

1959 ට පෙර ඡන්දය දීමේ අයිතිය වයස 18 කළ යුතු බව කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ පීටර් කෙනමන් මහතා 1952 පාර්ලිමේන්තුවට යෝජනා කළා. එම යෝජනාව පරාජය වුණා. 1959 යෝජනාව සාකච්ඡාවේ දී සමහරු මේ යෝජනාව රට අරාජික කිරීමක් ලෙස සැලකුවා. 1959 මැයි 7 වනදා ඡන්දය දීමේ අයිතිය වයස 18 දක්වා අඩු කිරීමේ පනත අනුමත වුණා.

ඡන්දය දීමේ අයිතිය වයස 18 කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාව අතර විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර විශ්වාසය ගොඩ නැඟෙන බවත්, තරුණ ප්‍රජාව පාලනයට හවුල්කර ගැනීමෙන් ඔවුන්ගේ ජවය රටේ සංවර්ධනයට මහෝපකාරී වන බවත්, රටේ ආර්ථික ශක්තිය කෙරෙහි තරුණයා උත්සුක වන බවත් දිවංගත අගමැති බණ්ඩාරනායක මහතා එදා පාර්ලිමේන්තුවේදී කීවා.

ඡන්දය දීමේ අයිතිය වයස 18ට ලැබෙන බවට ඡන්ද ලේඛනවල ලියැවුණත් කිසිම ඡන්දයකදී 18 අය ඡන්දය දී නැහැ. මන්ද සෑම ඡන්දයක්ම පැවැත්වෙන විට 18 තරුණයා අවුරුදු 20 හෝ 21 වෙලා.

ඒ සමගම ආදායම් බද්දේ වයස සීමාව අවුරුදු 18 වුණා. එම නිසා වයස 18 සිටින තරුණයින් ආදායම් උපදවන්නේ නම් ඔවුන්ට ආදායම් බදු ගෙවීම අනිවර්ය වුණා.

1931 දී අපේ රටේ සාක්ෂරතාව 30% අද එය 74% වැඩිවුණා. මෙම වර්ධනයට ද 18 ඡන්ද බලය හේතු වුණා. 1940 දී අපේ විශ්වවිද්‍යාලය ගිය ශිෂ්‍ය ප්‍රමාණය වසරකට 100ක්. 2012 එය 22,000 පමණ වෙනවා. මේ අනුව තරුණ ප්‍රජාවට රටේ වගකීම් පවරා දිය හැකි තත්ත්වයක පවතිනවා.

ඡන්ද අයිතිය වයස 18 නියමය අනුව පාර්ලිමේන්තුව පත් වූ ළාබාලම මන්ත්‍රිවරයා ලක්ෂ්මන් රාජපක්ෂ මහතායි. එවිට ඔහුගේ වයස 21 යි. වයස 21ට අඩු කිසිවෙක් තවම පාර්ලිමේන්තුවට පත් වී නැහැ.

වයස 18 සීමාව නිසයි ලක්ෂ්මන් රාජපක්ෂ මහතා වයස 21 දී පාර්ලිමේන්තුවට ආවේ. 21 සීමාව තිබුණා නම් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ වයස 24 දී පමණය.

යොවුන් පාර්ලිමේන්තුවේ පමණක් නොව බොහෝ රටවල මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා වෙනවා. එහෙත් කිසිම රටක අවුරුදු 18 සීමාවට අඩුවීමක් තවම නෑ.

කෙසේ වෙතත් යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජාතික ප්‍රශ්න ගැන මෙසේ සාකච්ඡා කර තම අදහස් වගකිවයුත්තන්ට ලබාදීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනසම්මතවාදය ශක්තිමත්වීමේ සාධනීය ලක්ෂණයක්.

තවද මෙතෙක් කිසියම් යන්ත්‍රයක් මගින් දෙවන දේශපාලන පරපුරක් ඉදිරිපත් කර නැහැ. එම නිසා මෙම පෙරහුරුව අනාගතයේ පාර්ලිමේන්තුව වඩාත් ගෞරවනීය තැනකට පත් කිරීමට ඉතාමත්ම වැදගත්.

මේ අවස්ථාවේ නිරීක්ෂකවරු ලෙස පාසල් අධීක්ෂණ මන්ත්‍රී මෝහන්ලාල් ග්‍රේරු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ හා අධ්‍යක්ෂ (සංවර්ධන) සනත් වීරසුරිය මහත්වරු ද සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]