අධ්‍යාපනයේ සම අවස්ථා ගමටත්...

අධ්‍යාපනයේ සම අවස්ථා ගමටත්...

ඕනෑ ම විපක්ෂයකට ආණ්ඩු ව විවේචනය කළ හැකි ය. එයින් දේශපාලන වාසි ද ලබා ගත හැකි ය. එහෙත් අප විමැසිය යුත්තේ මේ විවේචන වලින් රටට ලැබෙන යහපත කුමක් ද යන්න ය. “ඉසෙඩ් ස්කෝර්” ගණනය සම්බන්ධයෙන් යම් අවුලක් පවතින බව රට ම පිළිගනිති. එය නිවැරැදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද, ඉදිරි අවශ්‍යතා මත තවත් ප්‍රතිශෝධන ඇති කිරීමට සූදානම් බව ද බොහෝ දෙනා දනිති. තත්ත්වය එසේ වුව විපක්ෂය තව ම සිටිනුයේ සිසුන් හා මාපියන් කුලප්පු කොට අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි තවත් අවුලක් ඇති කරන තැනක ය.

මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කරනුයේ මහජන යහපත හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ පෙරමුණෙහි තබාගෙන නො වේ. කොටින් ම සටන් පාඨ සොයන හා ජාතික අර්බුද මතු කරන තැනකට දේශපාලකයා පත් ව සිටී. මේ අයගේ විවේචන ගණනකට නො ගත යුත්තේ ඒ නිසා ය. අ.පො.ස. උ.පෙ. අවුල විසැඳීමට එක ද යහපත් යෝජනාවක් හෝ විපක්ෂය ඉදිරිපත් කර නැත. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ හැකිතාක් දුරට ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම ය. මේ උත්සාහයන් නිසා; ආණ්ඩු ව අධ්‍යාපනය සම්බන්ධයෙන් කරගෙන යන යහපත් ක්‍රියාවලිය ජනතාව වෙතින් වසන් වෙයි.

ග්‍රාමීය හා නාගරික අධ්‍යාපනය අතර බරපතළ වෙනසක් පවතී. එය දශක ගණනාවක සිට වර්ධනය වූ තත්ත්වයෙකි. ගමේ පාසල්වල පහසුකම් නගරයේ පාසල්වල පහසුකම් වලට වඩා බොහෝ සෙයින් පහළ මට්ටමක පවතී. ගම හා නගරය අතර විභේදනයක් ඇති වීමට ද අධ්‍යාපනයේ පන්ති භේදයක් මතු වීමට ද එය හේතුවක් වී ඇත. 1971 තරුණ නැඟිටීම හා 1988 තරුණ නැඟිටීම යන ජාතික ව්‍යසන දෙකට අධ්‍යාපන විසමතා ද හේතු වූ බව කව්රුත් පිළිගනිති. තරුණ කොමිසමේ වාර්තා කිහිපයකින් ද ඒ බව පැහැදිලි කර දී තිබිණි. එකල සිසුන් අතර පැවැති ජනප්‍රිය සටන් පාඨයක් වූයේ කොළඹට කිරි අප ට කැකිරි යන්න ය.

ගමෙන් නගරයට පැන ගැනීම සඳහා සිසුන් අතර පවතින සටන සුළුපටු නැත. ඒ සඳහා ඇති එක් මාර්ගයක් වන්නේ පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය යි. දරුවන් නො ව මාපියෝ ද ශිෂ්‍යත්වයට පුහුණු වෙති. මේ හැරෙන්නට නගරයේ ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ලක්ෂ ගණන් වැය කරන අය සිටිති. නොයෙක් වංචාවන්, ප්‍රෝඩාවන්, කරන අය සිටිති. එම මාපියනට දොස් නැඟිය හැකි නො වේ. ඔවුන්ගේ අපේක්ෂාව වනුයේ තම දරුවාට වටිනාකමක් ලබා දීම ය. එය කළ හැක්කේ නගරයේ ජනප්‍රිය පාසලකට සිය දරුවා ඇතුළත් කිරීමෙන් පමණි.

කන්නන්ගර මැතිතුමා මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ඇති කළේ ගමේත් - නගරයේත් පාසල්වල පරතරය අඩු කොට ග්‍රාමීය දුප්පත් ශිෂ්‍යයාට සාධාරණයක් ඇති කිරීමට ය. අද ඒ ක්‍රමය බොහෝ සෙයින් ම දුර්වල ය. බොහොමයක් මධ්‍ය මහා විද්‍යාල බෝඩ් ලෑල්ලට පමණක් සීමා වී ඇත. මේ යුගයේ අවශ්‍යතා සැලැකිල්ලට ගන්නා විට ඊට වඩා පුළුල් වැඩසටහනක් අවශ්‍ය වේ. ආණ්ඩු ව දිවයින පුරා පාසල් හය දහසක් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත්තේ ඊට විසැඳුමක් ලෙස ය. මේ වැඩසටහනට අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම අව ම ලෙස අංග සම්පූර්ණ පාසල් දෙකක් වත් ලැබේ.

අංග සම්පූර්ණ පාසලක් යනු කුමක් ද? එය ශිෂ්‍ය පරපුරේ නූතන අවශ්‍යතා සපුරන හා ඔවුන්ගේ මනස සන්සුන් කරන ප්‍රියමනාප තැනක් විය යුතු ය. භාෂාගාරයක්, ගණිත මධ්‍යස්ථානයක්, විද්‍යාගාරයක්, පරිගණක කාමරයක්, පුස්තකාලයක්, ක්‍රීඩාගාරයක් මේ අවශ්‍යතා අතර පවතී. අපගේ සිහියට නැඟෙනුයේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි පරිගණක විප්ලවයක් සිදු කළ චන්ද්‍රබාබු නායිදු මහතා ය. මට අවශ්‍ය එකට බැඳුණු ලෝකයකැ’යි ඔහු කියා සිටියේ ය. ඒ සඳහා ඔහු යොදා ගත් මෙවලම වූයේ පරිගණකය යි. ඔහු තම පාලන ප්‍රදේශය තුළ ඉතා වේගයෙන් පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කළේ ය. අද ඕනෑ ම රටක පරිගණක මධ්‍යස්ථානයකින් ආන්ද්‍රා ප්‍රදේශයෙහි ශිල්පියකු හෝ ශිල්පිනියක සොයා ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ පාසල් තුළ පරිගණක අධ්‍යාපනය හා ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කැපවීමක් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉංග්‍රීසි ගුරුනට ඉන්දියාවේ පුහුණුවක් ලැබිණි. බොහෝ පාසල්වලට පරිගණක ගුරුවරුන් හා පරිගණක ලැබිණි. දිවයිනේ පරිගණක සාක්ෂරතාව දිනෙන් - දින ඉහළට යයි. රත්මලානෙන් ආරම්භ වූ මහින්දෝදය පාසල් ව්‍යාපෘතියට පැමිණි ජනාධිපතිවරයා කියා සිටියේ දැයේ දරුවනට අංග සම්පූර්ණ නූතන අධ්‍යාපනයක් ලබාදීම තමන්ගේ ඉලක්කය බව ය. අධ්‍යාපනයේ නියම අරමුණ දරුවන්ගේ කුසලතා හා විනය සංවර්ධනය කිරීම ය. ඒ මගින් රටට අවශ්‍ය යහපත් පුරවැසියන් බිහි කිරීම ය. ඒ සඳහා අධ්‍යාපනයේ සම අවස්ථා නගරයට මෙන් ම ගමට ද ලැබිය යුතු ය. නගරයේ සුපිරි පාසල් සඳහා ඇති අධික තරඟය නිසා එක් අතකින් අධ්‍යාපනය විකෘති වී තිබේ. තව අතෙකින් සිසුන්ගේ ජීවිත බරපතළ පීඩනයකට හසු වී තිබේ. ගමෙන් නගරයේ පාසල් කරා ඇදෙන සිසුන්ගේ ජීවිත ගෙවෙන්නේ වාහන තුළ ය. ඔවුනට විවේකයක් නැත. නින්දක් නැත. කෑම භාගෙට ය. ක්‍රීඩා ව ඇත්තේ ම නැත. අමතර දක්ෂතා ප්‍රකට කිරීමට කාලයක් ද නැත. විවේකයක් - නිදහසක් නැති දරුවා තම කුසලතා ප්‍රකට කරන්නේ ‍ෙකසේ ද? “ඉසෙඩ් ස්කෝර්” ගණනය දිගට - හරහට විවේචනය කරන අයට අපේ අධ්‍යාපනයේ ඇති ඊට වඩා බරපතළ දෝෂයන් නො පෙනේ.

අධ්‍යාපනය යනු අපට ඇති හොඳම ආයෝජනය වේ. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ආසියාවේ ඉහළ ම අගයක් ගන්නේ වුව අපගේ පරිගණක සාක්ෂරතාව හා ඉංග්‍රීසි හැසිරවීමේ ප්‍රවීණතාව සාර්ථක නැත. අධ්‍යාපනය හොඳම ආයෝජනය ලෙස පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැත. එය කාර්ය සාධනයක් බවට පත් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතුය. අපට වැටහෙන පරිදි පාසල් හය දහසක් නූතන අධ්‍යාපනික යටිතල පහසුකම්වලින් සම්පූර්ණ කිරීම මගින් ඉහත අවස්ථාවන් අපට ලබා ගත හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා