විදුලිය බල මාෆියාවක්

විදුලිය බල මාෆියාවක්

දේශපාලනඥයන්-නිලධාරීන් ව්‍යාපාරිකයන් මාෆියාව පසුපස

කෙරවලපිටිය, පුත්තලම බලාගාර බිඳ වැටීම් කුමන්ත්‍රණයක්

ඊනියා වාමාංශික පක්‍ෂයක් කුමන්ත්‍රණය මෙහෙයවයි

නම් ගම් සහිතව රටට හෙළි කිරීමට ඇමැති පාඨලී සූදානම්

රට තුළ විදුලිය බල මාෆියාවක් ක්‍රියාත්මක වන අතර විදුලිය බල ක්‍ෂේත්‍රය තුළින්ම ප්‍රකෝටිපතියන් වූ පුද්ගලයන්ද, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ද, දේශපාලනඥයන් සහ අන්තර් ජාතික බලවේග මේ මාෆියාව තුළ සිටින බව හෙළි වේ.

කෙරවලපිටිය ‘යුගදනව්’ සහ පුත්තලම ‘ලක්විජය’ විදුලිය බලාගාරවල හදිසි බිඳ වැටීම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වියහැකි බව විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශයට ඒත්තු ගොස් තිබේ.

කෙරවලපිටිය බලාගාරයේ හානි වී ඇති කොටස බලාගාරයේ සම්පූර්ණ ජීව කාලය වන වසර 25 ක් ඇතුළත හානි නොවන ලෙස සැලසුම් කර තිබුණත් එය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ බිඳ වැටීම ගැටලු සහගත තත්ත්වයකි.

පුත්තලම කල්පිටිය ලක්විජය බලාගාරයේ කැඩී ගිය වානේ නළද එම බලාගාරයේ සම්පූර්ණ ආයු කාලය තුළම පැවැතීමට සැලසුම් කළ නළ වෙයි. එවැනි තත්ත්වයක් තුළ මේ හදිසි බිඳවැටීම් සිදුවූයේ නඩත්තු කිරීමේ ගැටලුවක් නිසාද නැතහොත් නිෂ්පාදනයේදී ඇතිවූ දෝෂයක් නිසාද යන්න සොයා බැලීමට මේ වන විට කටයුතු යොදා ඇත.

විදුලිය බල මණ්ඩලය ස්ථාවර වුවහොත් දැනට විදුලිබල මණ්ඩලයට විදුලිය දෙන ව්‍යාපාරිකයන් නවදෙනා ගේ බලාගාර වසා දැමීමට සිදුවනු ඇතැයි කියන තත්ත්වය මේකුමන්ත්‍රණයට තුඩු දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මාෆියාව බූවල්ලකු මෙන් විදුලිබල ක්ෂේත්‍රය පුරාම පවතින අතර රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව විදුලිය බල ක්ෂේත්‍රය අස්ථාවර කිරීම සඳහා ඔවුන් කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි. වාමාංශික යැයි කියා ගන්නා පක්ෂයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ගෙන යමින් විදුලිය බල ක්ෂේත්‍රය බිඳ වැටීමට කුමන්ත්‍රණය මෙහෙයවන බව ද හෙළිදරව් වී ඇත.

විදුලිය බල ක්ෂේත්‍රයට 1995 වසරේ සිට මේ මාෆියා කණ්ඩායම ඇතුළු වී ඇති අතර 1995 සිට 2005 දක්වා රටේ කිසිම බලාගාරයක් හදනවාට ඔවුන් කැමැති වී නැත. 2005 න් පසු කෙරවලපිටිය, නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ බලාගාර ඉදි කරන විට මාෆියා කණ්ඩායම ඊට විරුද්ධ වී ඇත. දින තුනක විදුලිය කප්පාදුවක් යන විට මේ මාෆියා කණ්ඩායම විවිධ මාධ්‍ය ඔස්සේ රට අස්ථාවර කිරීමට ප්‍රචාර නිකුත් කර ඇත.

මේ මාෆියාවට සම්බන්ධ පක්ෂ විපක්ෂ සියලු දෙනාද විදුලිය බල මණ්ඩලයේ නිලධාරීන්ද රටට ළඟදීම හෙළිදරව් කරන බවද මේ මාෆියාවට හසු නොවන ලෙස විදුලිය පාරිභෝගිකයන්ගෙන් සහ විදුලිය බල මණ්ඩලයේ සේවකයන්ගෙන් තමා ඉල්ලන බව විදුලිය බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කුමන ප්‍රශ්න පැමිණියත් ලබන වසරේ දෙසැම්බර් වන විට විදුලිබල ක්‍ෂේත්‍ර‍්‍රය ස්ථාවර කරන බවද ඇමැතිවරයා කීහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා