තරග බිමේ සිටින හිටපු මහ ඇමැතිවරුන් හා අපේක්ෂකයන් සතු රජයේ දේපල යළි බාර දෙන්න

තරග බිමේ සිටින හිටපු මහ ඇමැතිවරුන් හා අපේක්ෂකයන් සතු රජයේ දේපල යළි බාර දෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනුම් දෙයි

මෙවර පළාත් සභාවලට තරග කරන හිටපු මහඇමැතිවරුන් ඇතුළු නිලතල දැරූ අපේක්ෂකයන් සතුව තිබූ රජයේ සියලු නිශ්චල හා චංචල දේපල නැවත බාර දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ලිඛිතව දැනුම් දී තිබේ.

එම දැනුම් දීම අනුව දැනටමත් එවැනි දේපොල බාර දී ඇති බවට එම අපේක්ෂකයන් ලිපි මඟින් දැනුම් දී තිබෙන බව එම සන්ධානයේ මහ ලේකම්, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එසේම පළාත් සභාවලට තරග කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා නියෝජිතයන්ට නාමයෝජනා බාර දුන් දිනයේ සිට මැතිවරණ දිනය තෙක් තමන් දැනට දරණ තනතුරුවලින් නිවාඩු ගන්නා ලෙසත් දැනුම් දුන් බව ඇමැතිවරයා කීවේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග අකුරටම පිළිපදින ලෙස අපෙක්ෂකයන්ට දැනුම් දී ඇති අතර නීතියට පටහැනිව බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කිරිමෙන් වැළකීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහවැලි කේන්ද්‍රයේදී ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැතිවරණ කාර්යාලවල පමණක් කටවුට් ප්‍රදර්ශනය කරන ලෙසට අපෙක්ෂකයන් දැනුම්වත් කර ඇති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කැපව සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

පළාත් සභා විසුරුවා හැරීමටත් පෙරාතුරව එය වැළැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය අධිකරණය හමුවට ගියේ මැතිවරණය පිළිබඳ අනියම් බියකින් පෙළෙන නිසා බව පෙන්වා දුන් ඇමැතිවරයා විපක්ෂයට මෙන් එදා වේල සටන් පාඨ යොදා ගැනීමේ උවමනාවක් රජයට නැති බවත් පැවසීය.

ත්‍රස්තවාදය නිමා කර රට සංවර්ධනය කරමින් ඉදිරියට යන ගමන පිළිබඳ ජනතා මනාපය දැනගැනීමේ කැමැත්තක් රජයට ඇති බවත් අප කළ වැඩ කොටස මැන ගත යුතු යැයි මතයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා ද මේ අවස්ථාවට එක් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා