නායකත්වය රැකගන්න යෝජනාවක් ගෙනාවේ රනිල් පරදින බව දන්නා නිසයි

නායකත්වය රැකගන්න යෝජනාවක් ගෙනාවේ රනිල් පරදින බව දන්නා නිසයි

ඇමැති ඩිලාන් පෙරේරා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය තවත් වසර හයකට රැක ගන්නා යෝජනාව ගෙනාවේ සිය පක්ෂය කැඩී බිඳී යාමේ ප්‍රතිඵලය පරාජය බව නිසැකවම දන්නා නිසා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

පසුගිය පළාත් සභා මැතිවර‍ණයේ එ. ජා. පය සමඟ සිට මුස්ලිම් කොන්‍ග්‍රසයත් වක්‍රව සහාය දුන් දෙමළ ජාතික සන්ධානයත් නැතිව තනිව තරග කිරීමේ ප්‍රතිඵලය පරාජය බව විපක්ෂ නාකයවරයා දැනටමත් පිළිගෙන ඇතැයි හෙතෙම කීවේය.

මැතිවරණය පරාජය වූ වහාම මැතිවරණ විසි ගණනක් පරාජය වූ නායකයා එළවමු යන යෝජනාව ගෙන ඒමට නායකත්වයේ වෙනසක් අපේක්ෂා කරන පිරිස සූදානමින් සිටි අතර ඊට පිළිතුර වශයෙන් වික්‍රමසිංහ මහතා නායකත්වය රැක ගැනීම‍ට කටයුතු යෙදූ බවත් ඇමැතිවරයා කීවේය.

දැන් තිබෙන ප්‍රශ්නය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය නොව එ.ජා. පයට ඇතැම් දිස්ත්‍රික්කවලින් තුන්වැනි තැනවත් දිනා ගත නොහැකි වීම බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (29) එක්වෙමිනි.

පළාත් සභා මැතිවරණ කඩින් කඩ පැවැත්වීම පිළිබඳව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා කියා සිටියේ කිසි දිනෙක පළාත් සභා මැතිවරණ එකවර පවත්වා නැති බවයි.

මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ කතා නොකරන්නේ ඔවුන් දැනටමත් දේශපාලන කුණු බක්කිය අසළටම ගොස් සිටින නිසා බවත් අද ජ. වි. පෙට වඩා පැරැණි වමේ පක්ෂවලට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හිමි බවත් ඇමැතිවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා