යක්කලමුල්ල කනිටු විදුහලේ විදුහල්පති කපා කොටා මරලා

හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න ගිහින්

51ක් නාවික අත්අඩංගුවට

අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට යාමට තැත්කළ තවත් පුද්ගලයන් 51 දෙනෙකු මීගමුව දූව මෝරවල පිහිටි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් 28 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිරිසගෙන් 31 දෙනෙකු කුඩා බෝට්ටු මගින් ගොස් දියඹේ තබා තිබූ ලොකු බෝට්ටුවක නැග ගමනට සුදානම්ව සිටියහ. තවත් 20 දෙනෙකුද එම යාත්‍රාවෙන්ම ඔස්ට්‍රේලියාවට යාමට පැමිණ වෙරළ ආසන්නයේම පිහිටි නිවසක රහසිගතව රැඳී සිටියේය. මෝරවල සිට නාවික සැතැපුමක් පමණ ඈතින් සැක සහිත යාත්‍රාවක් මීගමුව මුහුදු සීමාවේ තිබෙන බවට නාවික හමුදාවට තොරතුරක් ලැබී තිබුණි.

28 දා අලුයම 2.00 – 3.00 ටත් අතර කාලයේදී නාවික යාත්‍රා දෙකක් දියඹේ නැංගුරම් දමා සිටි මේ යාත්‍රාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැක සහිත පුද්ගලයන් 31 දෙනෙකු එහි සිට ඇත. මේ තැනැත්තන් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යාමට සිටින බවට තොරතුරු අනාවරණය විය.

නැංගුරම් දමාගෙන සිටින යාත්‍රාවට ගොඩබිම සිට තවත් පුද්ගලයන් විසිදෙනෙකු පැමිණීමට තිබෙන බවට නාවික හමුදාවට තවත් තොරතුරක් ලැබුණි. මෝරවලට ආසන්න වෙරළ තීරයේ නිවසක සිටි මේ පුද්ගලයන් විසිදෙනාද නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වුහ.

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළේ යැයි චෝදනා ගොනු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පුද්ගලයන් 51 දෙනා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත 28 යොමු කළ පසු අගෝස්තු 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදෙනෙකු ද්‍රවිඩ ජාතිකයන්ය.

එම ද්‍රවිඩ ජාතිකයෝ ත්‍රිකුණාමලය මුත්තූර්, යාපනය, වවුනියාව, ඔට්ටුසුඩාන් යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ද්‍රවිඩ ජාතිකයන්ගෙන් හතර දෙනෙකු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ලෙස සිට පුනරුත්ථාපනය ලැබූ අය බව කියයි.

ගමන මෙහෙයවන්නාට එක් පුද්ගලයකු රුපියල් ලක්ෂ 2 සිට තුන දක්වා මුදලක් ඔස්ට්‍රේලියාව දක්වා ගෙන යාමට දුන් බව තොරතුරුවලදී අනාවරණය වී ඇත. ගමන මෙහෙයවන්නාද අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටී. නමින් ඔහු “සේරම්” ලෙස හඳුන්වයි.

මීගමුව දූව ධීවර ගම්මානයේ මෝරවල නමින් හඳුන්වන ප්‍රසිද්ධ මුහුදු සීමාවේදී අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා