හලාවත පදිංචි ළාබාල තරුණයකු සිරුරට ගිනි තබාගෙන මියගිහින්

හලාවත පදිංචි ළාබාල තරුණයකු සිරුරට ගිනි තබාගෙන මියගිහින්

කළපු ඉවුරේ නැංගුරම් දමා තිබූ බෝට්ටුවක මම සිටියා. නිවාස පිහිටා තිබෙන පෙදෙසින් දුවගෙන ආව තරුණයෙක් කළපුවට පනිනවා දුටුවා. කළපුවේ නෑමට පැමිණි අයකු යැයි මම සිතුවා. තරුණයාගේ පසුපසින් දුවගෙන ආ කාන්තාවන් පිරිසක් මගේ කොල්ලා පිච්චිලා”යි කළපු ඉවුරේ ඉඳගෙන කෑගැසුවා.

සිරුරට ගිනි තබාගෙන මියගොස් සිටි 17 වියේ පසුවූ තරුණයාගේ මරණ පරීක්ෂණයේ දී හලාවත වැල්ලේ පදිංචි වර්ණකුලසූරිය ඉන්දික කුමාර මහතා (26) සාක්කි දෙමින් කීවේය.

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එච්. එම්. කරුණාදාස මහතා රෝහල් මෘත ශරීරාගාරයේ දී මරණ පරීක්ෂණය පැවැත්විය.

හලාවත කාවාටියාවත්තේ විසූ වර්ණකුලසූරිය දිලාන් තුසිත කුමාර (17) මිය ගිය තරුණයායි.

ඉන්දික කුමාර මහතා (26) වැඩිදුරටත් සාක්කි දෙමින් මෙසේ කීවේය.

කාන්තාවක් කෑගසනවිට මට තේරුණා කළපුවට පැන්නේ දිලාන් කියලා. මම කලපුවට බැහැලා ඉදිරියට යන විට දිලාන් කෑගසමින් ගොඩ ආවා. ඔහුගේ හිස පමණක් ඉතිරි වී මුළු ශරීරයම පිළිස්සී තුවාල වෙලා තිබුණා.

දිලාන්ව හලාවත මහ රෝහලට ගෙන ගියා. දින පහකට පසු පිළිස්සුම් තුවාල සහිතව හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී දිලාන් මියගිය බව මා දැනගත්තා.

හලාවත වට්ටක්කලිය කාවාටියාවත්තේ පදිංචි වර්ණකුලසූරිය බර්ටි තමෙත් මහතා (37) සාක්කි දෙමින් මෙසේ කීය.

දිලාන් තුසිත මගේ වැඩිමහල් පුතා. තව දියණියක් සහ පුතෙකු ඉන්නවා. දිලාන් පුතාගේ මව වර්ණකුලසූරිය නිලුකා ජයසිංහයි. ඇය මගේ පෙර විවාහක බිරියයි. වසර නමයකට පමණ පෙර ශරීරයට භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන මියගියා. මම කන්දකුලියේ පදිංචි වර්ණකුලසූරිය ස්වර්ණා මල්කාන්ති විවාහ කර ගත්තා.

මියගිය දිලාන් පුතා හලාවත සාන්ත මරියා පිරිමි විදුහලේ හත්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරුවා. වසරකට පමණ පෙර පාසල් යන්න බැහැ කියා නිවසේ නතර වුණා. ඔහු රැකියාවක් කළේ නැහැ.

පුතා රෝහලේදී වේදනාවෙන් කෑගැසුවා. පුතා ගිනි තියාගත් බව කීවත් හේතුව කීවේ නැහැ. දින පහකට පසුව පුතා මියගියා.

හලාවත කාවාටියාවත්තේ පදිංචි වර්ණකුලසූරිය ස්වර්ණා මල්ලිකා මහත්මිය (34) මෙසේ කීවාය.

මියගියේ මගේ සැමියාගේ කලින් විවාහයේ දරුවෙක්. පල්ලි ගොස් සිටියදී දිලාන් පුතා ගිනි තියාගත් බව දැනගෙන නිවසට පැමිණියා.

හලාවත රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ දොස්තර ඩී. කේ. විජේවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා මරණය ගිනි ගැනීමෙන් හටගත් තුවාල නිසා ඇතිවූ ආසාධනයකින් සිදුව ඇති බවට වාර්තා කළේය.

මරණය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබුණි.

හලාවත රෝහල් පොලිසියේ සැරයන් විතාන මහතා 64163 සාක්කි මෙහෙයැ විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා