අද මගේ දවසයි! අභියෝගය ඔහුටයි

අද මගේ දවසයි! අභියෝගය ඔහුටයි

ජපානයේ ටාගෝ සමග අද තරග වදින නිලූක කියයි

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරොත්තුවක් වන බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද ජපානයේ කෙනිචි ටාගෝ සමග ලන්ඩන් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී තරග වදී.මේ පළමු තරගයෙන් ජයගතහොත් නිලූක දෙවැනි වටයට පිවිසෙන අතර පරාජය වුවහොත් තරගාවලියෙන් ඉවතට යනු ඇත.එබැවින් තීරණාත්මක තරගයේ බරපතළකම ඉතා හොදින් අවබෝධ කරගෙන මානසිකව හා ශාරීරිකව ශක්තිමත්ව සිටින බව වෙම්බ්ලි ප්ලාසා හෝටලයේදී දිනමිණ ට අදහස් දැක්වූ නිලූක කරුණාරත්න පැවැසීය.

“කෙනිචි ලොව සිටින දක්ෂම ක්‍රීඩකයෙක්.දක්ෂයා මෙල්ල කිරීමට නම් පූර්ව සූදානම ඉතාම වැදගත්.මේ දින කිහිපයේදී මට වඩා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා පරාජය කිරීමට සැලසුම් සකස් කළා.අද ඒ සියලු සැලසුම් වලින් ලංකාවට හොදම ප්‍රතිඵලයක් ගෙන දෙන්න හැකි වේවි“ නිලූක පැවැසීය.

තම පළමු ප්‍රතිවාදියාවන ජපානයේ කෙනිචි ටාගෝ මේ වන විට ලොව අංක 8 ක්‍රීඩකයා වී තමා ලොව අංක 48 වුවද එය අද තරගයේදී අමතර පීඩනයක් කර නොගන්නා බව නිලූක කරුණාරත්න පවසයි.

ජපානයේ හා ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයන්ගේ මේ හමුව ලන්ඩන් ඔලිම්පික් බැඩ්මින්ටන් තරග කාල සටහනේ වැඩි දෙනාගේ අවධානයක් යොමු කිරීමට සමත්ව ඇත.23 හැවිරිදි කෙනිචි හා 27 හැවිරිදි නිලූක අතර පසුගිය කාලයේ තරගයක් නොතිබූ හෙයින් ඔලිම්පික් හමුවීම දෙදෙනාටම නැවුම් අත්දැකීමක්ව පවතී.

නිලූක කරුණාරත්න පැවැසුවේ ඔලිම්පික් තරගාවලියට පැමිණි දා පටන් ලන්ඩන් නුවරදී පුහුණුවීම් වල නිරතවූ බවයි.ලන්ඩන් කාලගුණය තරමක් ශීත බැවින් එයට ඉක්මනින් හුරුවීමට පුහුණුවීම් වලදී හැකිවූ බව නිලූක කරුණාරත්න සදහන් කළේය.

“පසුගිය කාලයේ පෝලන්තයේදී ලැබූ පුහුණුව ලන්ඩන් තරගාවලියට ඉතාම වැදගත්.ඒ සියලු අත්දැකීම් අද පළමු තරගයේදී මා යොදා ගන්නවා.පෝලන්තයේ ඔලිම්පික් පුහුණුකරු විශේෂ ශිල්පීය උපදෙස් වලට අමතරව මේ වගේ ප්‍රබල තරගාවලියකදී පූර්ව සූදානම පිළිබද හොද අවබෝධයක් දුන්නා. ඒක මට මෑතකදී ලැබුණු විශාල ශක්තියක්.“ නිලූක පැවැසීය.

ලන්ඩන් නුවර පැවැත්වෙන මේ තරගය දැක බලා ගැනීමට නිලූකගේ සිය පවුලම මෙහි පැමිණ සිටී.ලන්ඩන් නුවරට පැමිණ සිටින නිලූකගේ සොහොයුරු දිනූක මීළග ඔලිම්පික් උලෙළට සහභාගීවීමට තරම් ශක්තිමත් ක්‍රීඩකයෙකු බවද නිලූක අවධාරණය කළේය.“මගේ මල්ලී දිනූක මට වඩා ශක්තිමත්.ඔහු බැඩ්ම්න්ටන් පිටියේදී හොද ජවයකින් ක්‍රීඩා කරනවා.දිනූක ඔක්තෝබරයේ සිට ජාත්‍යන්තර තරග වලට සහභාගී වනවා.ශ්‍රී ලංකාවට ඔහු විශාල ජයක් ගෙන දේවී.“ නිලූක පැවැසීය.

නිලූක හා කෙනෙචි ටාගෝ අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.37ට ආරම්භවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා