කැරැලිකාර හමුදාවට බර අවි සපයන්නැයි විපක්ෂ ප්‍රධානියාගෙන් ඉල්ලීමක්

සිරියා සමුල ඝාතනය වැළැක්වීමට

කැරැලිකාර හමුදාවට බර අවි සපයන්නැයි විපක්ෂ ප්‍රධානියාගෙන් ඉල්ලීමක්

සිරියා රජයේ හමුදා පෙරේදා අලිප්පෝ නගරයට එල්ල කළ දරුණු ප්‍රහාරයක් මැඩපැවැත්විමට සිරියා කැරැලිකරුවන් සමත් වි ඇත. මේ අතර ජනාධිපති අසාද් දියත් කොට ඇති සමුල ඝාතනය වැළැක්වීමට කැරැලිකාර හමුදාවට බර අවි සපයන ලෙස සිරියාවෙන් පිටමංවි සිටින විපක්ෂ ප්‍රධානියා ඉල්ලා තිබේ . තවද මිනිස් සංහාරයට එරෙහිව අසාද්ට නඩු පැවරිය යුතු බවටත් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත. අලිප්පෝ නගරයේ සෙනසුරාදා ඇතිවු ගැටුම්වලින් 29 දෙනෙක් මියගොස් ඇති අතර රට පුරා මියගිය සංඛ්‍යාව 140ක් පමණ බව සිරියන් මානව හිමිකම් නිරික්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

වසර 2011 මාර්තු මාසයේදී රජයට එරෙහිව දියත් කළ විරෝධතා හේතුවෙන් මෙතෙක් 20000කට අධික පිරිසක් මියගොස් ඇතැයි ක්ෂමා සංවිධානය ප්‍රකාශකර ඇත. මේ අතර සිරියන් ජාතික කවුන්සලයේ ප්‍රධානි අබ්දෙල් බසෙට් සේඩා කැරලිකරුවන්ට සන්නද්ධවන ලෙස ඉල්ලා ඇති අතර යෝජිත අන්තර්කාලීන රජය සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය කැරලිකරුවන් සමඟ සාකච්ඡා කරන බවද පවසා තිබේ .

අර්බුදය විසඳීමට රජය විසින් මුලින්ම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්විය යුතු බවට අසාද්ට පෙරැත්ත කරන බවට රුසියන් විදේශ කටයුතු ඇමැති සර්ජි ලැව්රොව් ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ. මේ අතර ප්‍රංශ ජනාධිපති හොලැන්දෙ ප්‍රකාශකර ඇත්තේ අසාද්ට දැන් කරකියාගත නොහැකි තත්ත්වයක් උදාවි ඇති බැවින් ඔහු මිනිස් සංහාරය දිගටම කරගෙන යනු ඇති බවයි . එමනිසා එකම විසඳුම වන්නේ අසාද් ධූරයෙන් ඉවත්වි සිරියානු ජනයාට එක්සත් විය හැකි ආකාරයේ අන්තර්වාර රජයක් පිහිටුවා ගැනිම බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා