අතකස ප්‍රණාම

අගනුවර තරුණ කවි සමාජයේ 76 වන සංවත්සරය නිමිත්තෙනි

අතකස ප්‍රණාම

1935.04.18 වන දින වික්ටෝරියා පාක් හි බෙලි ගහක් යට බංකුවක් මත වාඩිගත් තරුණ කවීන් තිදෙනෙකි. ඒ කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා, බටුවන්තුඩාවේ ආර්. විල්සන් හෑගොඩ, කුරුදුවත්තේ ආතර් ඇම්. ද අල්විස් ය.

කවි දෙක තුනක් මුමුනමින් සිට බර කල්පනාවක නිමග්නව අවසානයේ දී කොළඹ සිංහල කවි සමාජය යනුවෙන් කවි සංවිධානයක් බිහි කර මළහිරු බහින්නට ඔන්න මෙන්න කියා තිබියදී එතනින් නැගිට ගත් තරුණයන් තිදෙනා කොළඹ 2, විලියම් ගරාජයට ගොස්, කඩවැද්දුවේ පීටර් පෙරේරා කවියාණන් මුණගැසී ඔහුව ද මෙම කවි සංවිධානයේ පිඹුරුපත් සකස් කිරීමට ඈදා ගන්නා ලදී.

මීමැසි හටන නමින් මහා සාහිත්‍ය තරගාවලියක්ද මෙම කවි සමාජය විසින් පවත්වා ඇත. ආරම්භක සභාපති වූයේ කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා ය. ආරම්භක ලේකම් වූයේ ආර්. විල්සන් හෑගොඩ ය. ආරම්භක භාණ්ඩාගාරික වූයේ කපිල ඊ. සෙනෙවිරත්නයන් ය. එච්. එම්. කුඩලිගම, කඩවැද්දුවේ පීටර් පෙරේරා, උප සභාපතිවරු වූහ.

විල්සන් හෑගොඩ

මීමැසි හටන සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමෙන් පසු නොයෙකුත් රාජකාරී කටයුතු නිසා නිහඩතාවයක් පැවතිය ද නැවතත් 1948 වසරේ අප්‍රේල් මස 13 වන දින දෙමටගොඩ ජය නිවසේදී මංගල මහා සභාවත් පවත්වා සිය නාමය අගනුවර තරුණ කවි සමාජය නව ජීවනයකට පත් විය. මෙම කාල වකවානුව තුළ පී. බී. අල්විස් පෙරේරා කවියාණන්ගෙන් ඇරඹුන සභාපති තනතුර 16 වන සභාපති වරයා දක්වා විහිද ගියේ ය.

වත්මන් සභාපති වන්නේ බොරලැස්ගමුවේ ප්‍රණීත් පෙරේරා ය. ඔහු හිටපු සභාපති බොරැලැස්ගමුවේ විමලසිරි පෙරේරා කිවියාණන්ගේ පුතනුවන්ය. බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කිවියාණන්ගේ මුනුපුරාය. 1940 දශකයේත්, 1950 දශකයේත්, අතකසය මගින් ජන රසාස්වාදය සඳහා පහත සඳහන් මාතෘකා යටතේ කවි සංවාද පවත්වා ඇත. ඒ චිත්‍රපට වාදය, හෝඩි වාදය, අධ්‍යාපන වාදය, නූතන අදහස් වාදය කවියට ව්‍යාකරණය උවමනාද? යන මැය මුල් කරගෙන අතකස කවීන් දෙපිලකට බෙදී හරවත් සංවාද පවත්වා ඇත.

ජී.එච්. පෙරේරා

දේශපාලන පිල් දෙකක ගමන් ගත් පී. බී.ත්, සිරි අයියාත් අතයි, අලියයි, කර පින්නාගෙන දේශපාලන වේදිකා දෙකක කවියෙන් හරඹ කළහ. එවකට අතකස සමලේකම් ධුරය දැරූ සුරසේන ආටිගලත්, විල්සන් හෑගොඩත් නිහඬව බලා සිටියා මිස වියත් කවියන් දෙදෙනාට දැනමුතුකම් ‍ෙනාදුන්හ. අතකසය නිහඩව ඇන හිටියේය. මට මතකයි අප කුඩා කාලයේ ජීවත් වූ මරදාන පොලිස් නිවාස වලට ආ ගිය කවි කිවිඳියන්.

දවසක් සවස් වරුවේ තාත්තා වැඩ ඇරී ගෙදර ආ පසුව පී. බී. අල්විස් පෙරේරා, යූ. ඒ. ඇස්. පෙරේරා, එච්. එම්. කුඩලිගම, ඇම්. ඇස්. සිල්වා, විමල් අබේසුන්දර, යන කවීන් තාත්තා හමුවන්නට ආවා. මට ඒ දසුන දැනුත් මැවී පෙනේ. කවදත් අම්මාගේ ආදර සංග්‍රහයට පාත්‍ර වන කවීන් තේ බීමෙන් අනතුරුව ඔවුහු තාත්තාට පැමිණි කාරණය කීහ. අතකසය නැවත ප්‍රතිසංවිධානය කළ යුතු බවත්, ඒ සඳහා කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළහ.

මෙම කාල වකවානුවේදී (1960 දශකයේ මුල් භාගයේ) ලංකා ජාතික ඡායාරූප කලා සංගමයක් ආරම්භ කර පාසල් ළමයි සඳහා නොමිලේ ඡායාරූප පංති පවත්වන කාලය විය. තම සමීපතමයන්ගේ ඉල්ලීමට කන් දුන් තාත්තා කුඩලිගමයන් සභාපති තනතුරේ තබා අතකසයට ජීවන හුස්ම පිම්බේය. නින්දෙන් පිබිදුනු අතකසය 60 දශකයේ නැවත සිය ගමන් මග ආරම්භ කරමින් කාව්‍ය විභාගයක් ආරම්භ කළේය.

චිත්‍රානන්ද අබේසේකර

යූ. ඒ. ඇස්. පෙරේරා (සිරි අයියා) කවියාණන් නැවත සභාපති විය. ‘විදුර ජාතකය කාව්‍ය නාටකය’ වයි.එම්.බී.ඒ ශාලාවේ දී රඟ දැක්විය. කවියෙන් නඩු ඇසීමට කවි නඩුව රචනා කළේය. ඒ සඳහා වෙන්නවත්තේ පණ්ඩිත ප්‍රේමදාස කවියාත් ගාල්ලේ දාස බෝපගේ කවියාත් මරදානේ පොලිස් නිවසට පැමිණ කවි නඩුව රචනා කළහ.

ඡායාරූපයත් කවියත් තම උර මතට ගත් තාත්තා ශ්‍රී ලංකා කවි කාන්තා කලා සංගමය මගින් කරන ලද “කෝකිල හටන” සාහිත්‍ය තරගාවලිය අතකසයෙන් කිරීමට පටන් ගත්තේය. බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා කවියා සභාපති ධුරය දරණ සමයේ දී සීගිරි චාරිකාවක් සංවිධානය කර සීගිරි කාව්‍යයක් රචනා කළේ ය.

මෙම කාලයේ දී තාත්තාගේ සහයට සේසිරි විජේසේකර කවියා සම ලේකම් ලෙසත් කොරතොට අයි. සී. පෙරේරා කවියා උප ලේකම් වරයෙකු ලෙසත් කටයුතු කළේය. තාත්තාගේ කවි ලේඛක ඡායාරූප එකතුවෙන් තෝරා ගත් කිහිපදෙනෙකු සඳහා නිවුණු පහන් යනුවෙන් වයි.එම්.බී.ඒ ශාලාවේ දී අනුස්මරණ උත්සවයක් පවත්වන ලදී.

විමල් අබේසුන්දර

1978 වසර පසු අතකසයෙන් හා ඡායාරූප සංගමයේ කටයුතු වලින් ඈත් වී දෙවන කවි ලේඛක ප්‍රදර්ශනයෙන් පසු තාත්තා ලෙඩ ඇඳට සීමා විය. එදා ශ්‍රී ලංකා විද්‍යාලයේ පැවැත්වූ අතකස රැස්වීමේ දී අවසන් වරට සිය සහෝදර කවියන්ට ආමන්ත්‍රණය කළේය.

‘කවුරු හරි දැන් අතකසය රැගෙන යන්න මට දැන් ශක්තියක් නැහැ’ සිය කායික දුර්වලතාවය කියා සිටි බිංගිරියේ සෙනරත් විජේකුමාර කවියාණන්ගේ සභාපතීත්වයෙන් පසු චිත්‍රානන්ද අබේසේකරයන් සභාපති විය. තාත්තා වෙනුවට සේසිරි විජේසේකර සමඟ මර්වින් සේනාරත්නයන් සම ලේකම් ධුරයට පත්ව කටයුතු කළහ.

1985 වසරේ දී අතකසය රජය පිළිගත් පාර්ලිමේන්තු පනතකින් පුණ්‍ය ආයතනයක් බවට පත්විය. චිත්‍රානන්ද සභාපති වරයා දැයෙන් සමුගත් විට අතකස සභාපති තනතුරට සේසිරි විජේසේකර කවියාණන් පත්විය. නන්දසේන පලිහක්කාර හා ධර්ම ශ්‍රී මුද්දුවගේ සමලේකම්වරු විය. ඉඹුලේගොඩ ඇම්. ඇස්. ද සිල්වා කවියාණන් දැයෙන් සමුගනිද්දී ඔහුදැරූ අතකස භාණ්ඩාගාරික ධුරයට නාකුළුගමුවේ ශ්‍රී විජේසිංහ ගුණරත්නයන් අතකස 4 වෙනි භාණ්ඩාගාරික ධුරයට පත් විය.

ජෝන් රාජදාස

1970 වසරේ දී තාත්තා සමඟ සම ලේකම් ධුරයේ සිටි සේසිරි විජේසේකර මහතා අවුරුදු 22 ක් එම තනතුරේ වැඩ කළේය. 1991 දී සේසිරි කවියාණන් සභාපති තනතුරට පත් විය. සමලේකම් ධුරය දැරූවත්, සභාපති ධුරය දැරුවත් අතකසය සේසිරිගේ ජීවනාලිය විය. ඒ ඔහුගේ ලෙය තුළ අතකසය ජීවත් වීමය.

මර්වින් සේනාරත්නයන්ගෙන් පසුව අහංගම ආරියසේන කවියාණන් සමලේකම් විය. පසු කාලීනව නන්දසේන පලිහක්කාර සමඟ ධර්ම ශ්‍රී මුද්දුවගේද සමලේකම්වරු වශයෙන් කටයුතු කළේය. වියපත්ව සිටින සේසිරි විජේසේකරයන් ගෙන් පසුව ගාල්ලේ බර්ලින් කිවිදුන් අතකස 15 වෙනි සභාපති ධුරයට පත්විය.

2012.08.07 වන දින ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පස්වරු 2.30 ට අතකස 26 වෙනි ජයන්තිය පැවැත්වේ. සභාපති ප්‍රනීත් පෙරේරාගේ තීරණය මත කිවිපති සම්මාන දීම තාවකාලිකව නතර කර මිය ගිය අපේ සාමාජික කවීන් සිහිකරමින් ප්‍රණාම පුද කිරීමට කටයුතු සම්පාදනය කළේ ය. පී.බී.අල්විස් පෙරේරා, ආර්. විල්සන් හෑගොඩ, විමල් අබේසුන්දර, ඇම්. ජෝන් රාජදාස, මහා කවි ජී. එච්. පෙරේරා, විමලසිරි පෙරේරා, ඇම්. ඇස්. ද සිල්වා, චිත්‍රානන්ද අබේසේකර යන ජ්‍යෙෂ්ඨ කවීන් නමින් සම්මාන පුද කෙරේ.

තවත් විශේෂත්වයක් වන්නේ ‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’ යන ගීතය ගායනා කරන නිහාල් නෙල්සන්ට ද සම්මානයක් පුද කිරීමට කටයුතු කර ඇත. එහි ගීත පද මාලාව අතකස ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ සරත් මුණසිංහයන්ගේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා