මුද්‍රණය සඳහා

 
ආදරයේ පිහිට පැතූ මුදු හදවතක තතු

ආදරයේ පිහිට පැතූ මුදු හදවතක තතු

- නාරද දිසාසේකර

ගායක නාරද දිසාසේකර ඇගැයුම් උලෙළක් 28 වෙනිදා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී ප.ව. 5.30 ට පැවැත්වේ. එහිදී නන්දා මාලනී, රෝහණ වීරසිංහ, අමරා රණතුංග, දයාරත්න රණතුංග, ටී.එම්.ජයරත්න, බන්දුල විජේවීර, ජානක වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් ගායනා ඉදිරිපත් කරති.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වන මෙම උළෙළේ ප්‍රධාන දේශනය මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවත්වයි. එහිදී ඉනෝකා පෙරේරා බණ්ඩාර රචනා කළ “මුදු හදවතක තතු” නාරදගේ ජීවන මතක සටහන ද එළිදකී.

ජනප්‍රිය හා සම්මානනීය ගායන ශිල්පී නාරද දිසාසේකර වියෝවී පසුගිය මැයි 19 වෙනිදාට දෙවසරකි. එදින නිහඬවම ඉකුත්ව ගියේ ඔහු ගැන මතකය සමීපතමයන්ට සීමා කරමිනි. දශක හයකට ආසන්න කාලයක් තුළ නාරදගේ මන මෝහනීය කටහඬට මෙන්ම නිරහංකාර ගති පැවතුම්වලට ද පි‍්‍රය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයන් පිරිසක් ඔහු වටා ගොඩනැඟී සිටියෝ ය.

නාරද පිළිබඳ මතකය වඩා අර්ථවත්ව සැමරීමේ අවශ්‍යතාව වටහා ගත් ඔහුගේ කලා ලැදි හිතවතුන් ඒ සඳහා ඒකරාශිව ඇත. ඔවුන් නාරද සිංහල සංගීතයට හා චිත්‍රපට ගීතයට කළ සේවාව සැමරීමට උචිතම අවස්ථාව ලෙස මෙම අගෝස්තුව දකියි. එයට හේතුව චිත්‍රපට පසුබිම් ගායනය සඳහා මුල්වරට සම්මානයට පත් වූ ගායකයා බවට නාරද පත් කළ ‘රන්මුතුදූව‘ චිත්‍රපටය ප්‍රදර්ශන ආරම්භ කර මෙම අගෝස්තු 10 වෙනිදාට වසර 50ක් ගත වීමය.

නාරද දිසාසේකර රන්මුතු දූවට අමතරව සිකුරු තරුව, ගැටවරයෝ, රෑන ගිරව්, මනමාලයෝ, සරදියෙල්ගේ පුතා, සඳ නැඟ එද්දී, සුදෝ සුදු, හතර කේන්දරේ, හතර පෙරළිය, ආදරයයි කරුණාවයි වැනි චිත්‍රපට රැසකට ගායනයෙන් සම්බන්ධ වූයේ ය. ගීත 800කට ආසන්න ප්‍රමාණයක් ඔහු ගායනාකොට ඇත. ප්‍රථම සරසවිය සම්මානයට අමතරව ඔහු කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල යන්ගෙන් පිරිනැමෙන උපහාර සම්මානයට සහ 1999 වසරේදී කලා භූෂණ සම්මානයට පාත්‍ර වූවේ ය.

‘නාරද උපහාර උලෙළ’ සංවිධානය කිරීමට මූලික වූයේ ඔහුගේ ප්‍රිය බිරිය නීලා දිසාසේකරය. ඇය ඔහුගේ ජීවන සහකාරියට අමතරව දීර්ඝ කාලීන රසිකාවියකද වෙයි. සංවිධාන කටයුතු සඳහා ඇයට නාරද අධ්‍යාපනය ලැබූ කළුතර මහා විදුහලේ ආදි ශිෂ්‍ය මේජර් ජනරාල් නිස්සංක විජේසිංහ මහතාගෙන් හා මොරටුව වේල්ස් කුමරි විදුහලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනී පුෂ්පා මලලසේකර මහත්මියගෙන්, නාරද ඥාති පුත් නිලේන්ද්‍ර අමරසිංහගෙත් සහය ලැබී ඇත.

නාරද දිසාසේකර ගායන ශිල්පියාගේ ජීවන මතක සටහන් ඒකරාශීකොට ‘සිළුමිණ’ පුවත්පතේ මාධ්‍යවේදිනි ඉනෝකා පෙරේරා බණ්ඩාර රචනා කළ “මුදු හදවතක තතු” ග්‍රන්ථය නිකුත් වීම මෙදින සිදුවන තවත් සුවිශේෂ කටයුත්තකි.

පුවත්පත වෙනුවෙන් ඉනෝකා අතින් අවස්ථා කිහිපයකදි නාරද ගැන ලිපි රචනා වී ඇත. නාරදගේ ජීවන තතු ඒකරාශි කළ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ කටයුත්ත සඳහා ඈ වෙත නාරදගේ බිරිය ඇරයුම කරනු ලබන්නේද ඔහුගේ සංවේදි ජීවිතය ඉනෝකා අතින් සටහන් වී ඇති ආකාරය දැකීමෙනි.

මෙම කාර්යයට ඉනෝකා ඉත සිතින් කැප වන්නේ නාරදගේ ගායන කෞෂල්‍යය ගැන වෙනස් කියැවීමක් ඈ සතු වන නිසා ය.

“නාරද ලංකාවේ භාවමය සංගීතයට මහඟු මෙහෙවරක් කළ කලාකරුවෙක්. ඒ වගේම ඔහු යුග කිහිපයක් සිංහල චිත්‍රපට සංගීතය පෝෂණය කළා.

නමුත් ඔහුගේ එම මෙහෙය ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට ලක් වී නැහැ.”

‘නාරදගේ ජීවන තතු’ සංග්‍රහ කිරීමේ කටයුත්තට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, විජිත් කුමාර් සේනාරත්න, එඩ්මන්ඩ් ජයසූරිය, නීතිඥ රවී ජයවර්ධන, ගුණසිරි ජයවර්ධන, උදය මානවසිංහ හා අනුර ෆොන්සේකා වැනි වියතුන් හා නාරදගේ හිතවතුන් රැසක් එක්ව ඇත.

නීලාගේ හා නාරදගේ ප්‍රේම වෘතාන්තය ගැන ඉනෝකා කරන සඳහන අපට සිහි ගන්වන්නේ ගබ්‍රියෙල්, ගාර්ෂියා මාකේස්ගේ ‘කොලරා කාලේ’ ආලේ’ නව කතා පන්නයේ ආදර කතාවකි.

කතුවරිය අපට පවසන්නේ නාරද හා නීලා ළමා වියේ පටන් ආදරයෙන් බැදුණ යුවලක් බවය. නීලා, නාරදගේ පෙම්වතිය වන්නේ ඕ 18 හැවිරිදි යෞවනියකව සිටියදීය. කෙටි කාලයකින් පසුව ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය අවසන් වේ. ඔවුන් දෙදෙනා සහකරුවන් තෝරා ගෙන විවාහයන්ට එළඹෙයි. ජීවිතයේ සැඳෑ සමයේ නැවත ඔවුන් හමුවන විට නීලා වැන්දඹුවකි.

නාරද විවාහ ජීවිතය අසාර්ථකව හුදෙකලාව පසු වන්නෙකි.

එහිදි ඔවුන් නැවතත් එකිනෙකාට සහය වෙමින් එක්ව ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගනී. නීලා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අතහැර නැවත ලංකාවට පැමිණ නාරද සමඟ ආවාහ වෙයි.

නාරද ගැන නීලාගේ බැඳීම මරණයෙන් කෙලවර වන්නක් නොවන බව මෙවැනි සැමරුම් සංවිධානය කිරීමෙන් පසක් වන බව නාරද ජීවන චරිත කතුවරිය තවදුරටත් සඳහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]