මුද්‍රණය සඳහා

 
සුදුස්සාට සුදුසු තැන දීම!

සුදුස්සාට සුදුසු තැන දීම!

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරයේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාඨක අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු. ප්‍රකාශයක් යැයි කියූව ද එහි ඉතා වැදගත් කරුණු කිහිපයක් අඩංගු ය. පළමුවැන්න සෑම පළාතක ම මහ ඇමැති පදවිය සුදුසු ම තැනැත්තා ට ලබා දෙන බවට දුන් ප්‍රතිඥාව ය. දෙවැන්න දරුවන් ගැන සොයා බලන්නැ’යි සියලු මාපියන්ගෙන් කළ ඉල්ලීම ය. තෙවැන්න විදේශ සේවාවන් සඳහා කාන්තාවන් පිටත් කර හැරීමට, රාජ්‍ය නායකයා ලෙස තමන් තුළ කැමැත්තක් නැතැ’යි ජනාධිපතිවරයා කළ කතාව ය.

ලෝක නාට්‍ය කලාව උඩු - යටිකුරු කළ ජර්මන් ජාතික මහා නාට්‍යකරු ඉයුජින් පෙඩ්රික්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ඉතා හෘදයාංගම ලෙස කියා සිටියේ ද සුදුස්සාට සුදුසුතැන ලබා දිය යුතු බව ය. එහෙත් දේශපාලනය නිසා ම එම චාරිත්‍රය සමාජයෙන් තුරන් විය. අද දකින්නට ඇත්තේ නුසුදුසු තක්කඩින් ඇතැම් විට ප්‍රාදේශීය දේශපාලනයේ නායකයන් වී ඇති සැටියෙකි. මේ නිසා ම ප්‍රාදේශීය දේශපාලන සදාචාරයේ කඩාවැටීමක් දක්නට ලැබිණි. ජනාධිපතිවරයා මේ ගැන විශේෂා’වධානයක් යොමු කර ඇති බව පෙනේ. සුපිරිසුදු අය පමණක් ඡන්දය ඉල්ලන්නැ’යි ඔහු පළමු ව ඉල්ලා සිටියේ ය. දෙවනුව මහ ඇමැති පදවිය සුදුස්සා ට ම දීමටත් යයි. මේ දෙක ම හොඳ තීන්දු වේ.

පළාත් සභා තුනක් සඳහා මැතිවරණ පැවැත්වෙන බව සියල්ලෝ ම දනිති. ඡන්ද ප්‍රකාශය සඳහා තවත් දින කිහිපයක් ඉතිරි ව තිබේ. මේ වන විට සෑම පළාතක ම පාහේ මැතිවරණය උණුසුම් ය. මහ ඇමැති පදවිය සඳහා ඇති තරගය ද උණුසුම් ය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඇමැති පදවියට ඇති බලතල ද, දේශපාලන සම්ප්‍රදායයෙන් එම පදවිය උදෙසා ලැබෙන, ගෞරවය හා වරප්‍රසාද ආදිය ද සුළුපටු නැත. මේ නිසා ම එක ම පක්ෂයේ අය අතර ද තියුණු තරගයක් හා දේශපාලන වෛරයක් ද ගොඩනැඟෙමින් පවතී. දැනට ම අපි එය අත්දැක ඇත්තෙමු. දේශපාලනය සඳහා පවත්නා බලය, ධනය ආදී සාධක ද බලපාන බැවින් සුදුසු ම පුද්ගලයා මං තීරුවෙන් ඉවත් වන්නට ද පුළුවන. මේ සියල්ලට ම විසැඳුමක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ඇත.

මහින්ද රාජපක්ෂ මහතා දරුවන් ගැන කළ ප්‍රකාශය ද ඉතා වැදගත් ය. නූතන ජීවිතය ඉතා සංකීර්ණ ය. කාර්ය බහුල ය. මේ නිසා ම දරුවන් හුදෙකලා වන බවක් පෙනෙන්නට තිබේ. පවුලක නඩත්තුව සඳහා මවට හා පියාට නො නවත්වා වැඩ කරන්නට සිදු ව තිබේ. එම යථාර්ථයෙන් බැහැර වන්නට කිසිවකුට හැකියාවක් නැත. එහෙත් දරුවන් ගැන සොයා බැලීමට ද ඔවුන් හා සාකච්ඡා කිරීමට ද, ඔවුන් ගැන සොයා බැලීමට ද කාලයක් තෝරා ගත යුතු ය. එසේ නො වුණ හොත් සියල්ලන්ගේ ම අනාගතය ශෝකාන්තයක් විය හැකි ය. දරු තිදෙනකුගේ ආදරණීය පියකු ලෙස ජනාධිපතිවරයා කරන ඉල්ලීම මැතිවරණ ක්‍රියාවලියට එහා ගිය මනුෂ්‍යත්වය පිළිබඳ කතාන්තරයකට සමීප වෙයි. ඊට කන්දීම සියලු දෙනාගේ යුතුකම ය.

කාන්තාවන්, ගෘහ සේවිකාවන් ලෙස පිටරට යෑම ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය රැකියා ක්ෂේත්‍රයකි. ඉන්දියාව, බංගලි දේශය යන රටවල ද එම තත්ත්වය පවතී. මේ මගින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි වුව එය සමාජමය වශයෙන් බරපතළ ගැටලු ඇති කර තිබේ. දරුවන් ඇති අම්මලා විදේශ ගත වීම නිසා පවුල් ආරවුල් ද, දරුවන්ගේ අනාගතය කඩාකප්පල් වීම් ද බහුල ලෙසින් දකින්නට ලැබේ. අම්මලා විදේශ ගතවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ද ලැබෙන්නේ කලාතුරෙකින් ය. මෙය දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයක් සේ ම රටේ පාලනයට අදාළ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක් ද වනු ඇත. කාන්තාවන් රට යෑම එක වර නවතා දැමිය හැකි දෙයක් නො වේ. එහෙත් ක්‍රමයෙන් එය අඩු කිරීම පවුල් සංස්ථාවට වැදගත් වනු ඇත. ජනාධිපතිවරයා මේ ගැන කතා කිරීමෙන් පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන මනා අවබෝධයකින් ක්‍රියා කරන බව ය.

හෙළයේ පුරාණ රජවරු මැනැවින් ජනතාවට සවන් දුන්හ. දුටුගැමුණු රජු ජනතා අදහස් ද විමසමින් රට එක්සේසත් කළේ ය. ආක්‍රමණ මැඩ පවත්වා රට දැහැමින් පාලනය කළේ ය. වළගම්බා රජතුමා දෙවරක් රාජ්‍යත්වයට පත් වන්නේ ජනතාවගේ සහයෝගය මත ය. එතුමාට විශාල ජන සහායයක් ලැබිණි. ඇතැම් රජවරු වෙස් වළාගෙන ගොස් ජනතා කතාබහට කන් දුන්හ. ඒ අනුව තමන්ගේ පාලන ක්‍රම විධි නැවත සකස් කර ගත් හ. ජනතාවට සවන් නො දෙන නායකයකුගේ පාලන කාලය එතරම් දීර්ඝ වන්නේ නැත. ඉතිහාසයෙන් අපට උගත හැකි වැදගත් ම පාඩම එය යි.

අද කාලය ඊට වඩා වෙනස් ය. ජනතා මතය විමැසිය හැකි ප්‍රබල වේදිකාවක් ලෙස ජනමාධ්‍ය පවතී. එබැවින් හොර රහසේ ජනතාවට කන්දීමේ අවශ්‍යතාවක් නැත. අද ජනමාධ්‍ය බොහෝ විට ම නිදහස් ය. ජනතාවගේ විවේචන, විචාර, ප්‍රසංශා, යන සියල්ල ජනමාධ්‍ය ඔස්සේ ජන ගත කෙරේ. ඒ අනුව අද නායකයකුට සිදු වනුයේ ජනමාධ්‍ය සමග ළඟ ඇසුරක් පවත්වාගෙන යෑම ය. ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයා ඒ අතින් ප්‍රමුඛ ය.

ජනාධිපතිවරයා අමතන ප්‍රසිද්ධ ජනහමුවලදී ද, ජනමාධ්‍ය සාකච්ඡාවලදී ද අපට පැහැදිලි වන්නේ රාජ්‍ය නායකයා ජනතාවට සවන් දෙන අතර ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ වැටහීමකින් පසු වන බව ය. ඇතැම් දේශපාලකයන් රටේ දිග පළල දන්නේ නැත. භූමි ප්‍රමාණය දන්නේ නැත. ඉතිහාසය දන්නේ නැත. කෘෂිකර්මය දන්නේ නැත. මිනිසුන්ගේ ඇදහීම් හා චාරිත්‍ර - වාරිත්‍ර ගැන දන්නේ නැත. අටු කොස් ව්‍යාංජනයක් සමඟ බඩ පුරා බත් කෑ විපක්ෂ නායකතුමා; එම ගැමි ගෙදරින් අටුකොස් පැළයක් ඉල්ලූ කතාවක් මීට පෙර පුවත්පත්වල පළ වී තිබිණි. එබඳු දේශපාලකයන් අතර මහින්ද රාජපක්ෂ මහතා ඉතා ප්‍රායෝගික ය. පළාත් සභා තුනක් සඳහා මැතිවරණ පැවැත් වේ. ඊයේ තැපැල් ඡන්දය ප්‍රකාශයට පත් කැරිණි. රාජ්‍ය සේවකයා කුමන ආස්ථානයක පසු වන්නේ දැ’යි එහි ප්‍රතිඵලයෙන් දැක ගත හැකි ය. කුමන තත්ත්වයක් යටතේ වුව සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට නම්; සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු ය. රටේ විධායක බලැ’ති ජනාධිපතිවරයා සුදුස්සාට - සුදුසු තැන දීමට බලා සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]