මහින්ද චින්තනයෙන් ශ්‍රීලනිපයට අලුත් ජවයක්

මහින්ද චින්තනයෙන් ශ්‍රීලනිපයට අලුත් ජවයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුම

l ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කිරීමට මුල් වූ හේතු කාරණා මොනවාද?

වසර 1948 දී ලංකාවට දේශපාලන නිදහස ලැබුණු බව උත්සවාකාරයෙන් ප්‍රකාශ වුණා. එහෙත් ලංකා ඉතිහාසයේ උරුමය පිළිබඳ අපේක්ෂා රාශියක් ජනතා හදවත්වල තිබුණා. ඒවා වසර 1815 දී රට ජාතිය නතර වූ තැන සිට ඉන් ඔබ්බට ජාතියක් වශයෙන් ස්වාධින රටක් ලෙසින් ගමන් කිරීම අරමුණු කොට ගෙන ජනහදවත්වල උපන් ඒවායි. ඒවා සපුරාලීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වුණේ.

පළමුව රට ජාතිය ඉල්ලා සිටි ගමනක් තිබුණා. දෙවැනුව එම ගමන යෑම සඳහා මාර්ග සිතියමක් පිළියෙළ කර ගැනීමට තිබුණා. තුන්වැනුව එම ඉදිරි ගමනේ ඉලක්කයන් පැහැදිලි කර ගැනීමට උවමනා වුණා. අවසාන වශයෙන් ජාතියේ මහා අභිප්‍රාය කැටි කරන ලද ජාතික ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව ශ්‍රීලනිපය බිහි වුණා.

ඉහත සඳහන් කටයුතු සම්භාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් වසර 1951 සැප්තැම්බර් මස 02 වැනිදා ඇරඹුණා. එහි නායකත්වය ගනු ලැබුවේ ජාතිය ඉදිරියේ විනිවිද පෙනෙන හැසිරීම් රටාවකින් පාරිශුද්ධ වූ ජාතික විශ්වාසයක් ගොඩනගා ගෙන තිබූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් යැයි අපිට නොබියව කිව හැකියි.

l මේ දේශපාලන පක්‍ෂය බිහි වීමෙන් පසු සිදු වූයේ කුමක්ද?

යුගයක සම්ප්‍රාප්තියට ඔබින ජාතික ප්‍රඥප්තියකුත්, ජාතික ඉදිරි ගමනකුත්, ප්‍රබල මෙහෙයුම්කාර නායකත්වයකුත්, වසර 1956 දී ඉන් ලැබුණා. එදා පැවැති මැතිවරණ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ නූතන මහා වංශ යුගය ආරම්භ කරනු ලැබූ කණිසම ලෙස ජනතාව විසින් අදටත් සලකනු ලබන්නේ ඒ නිසයි.

l පක්‍ෂය ආරම්භ කොට රටට වැඩ කිරීමේදී බාධා මතු වුණේ් නැද්ද?

ජාතියේ ඉදිරි ගමනට මහා බාධාවන් එල්ල වූ බව කිව යුතුයි. සෑම ආසියාතික රටකම ප්‍රබල විමුක්ති නායකයන් විනාශ කර දැමීම, මරා දැමීම සිදු වුණා.

ලංකාවේ අගමැති බණ්ඩාරනායක මැතිතුමා, ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමා, ඉන්දිරා ගාන්ධි මැතිණිය, සුභාෂ් චන්ද්‍රබෝෂ් මැතිතුමා, ඉන්දුනීසියාවේ සුකාර්ණෝ තුමා ආදි ඓතිහාසික ආසියාතික චරිත විනාශ කර දමා ආසියාවේ පෙරට යන ගමන නතර කිරිමට බටහිර කටයුතු කළා. එහෙත් ආසියාවේ පිනට නොබැඳි සමුළුව මගින් දැවැන්ත දේශපාලන ප්‍රාකාරයක් ගොඩනැඟුණා. එහි කර්තෘ රටවල් අතර ශ්‍රී ලංකාව සහ ශ්‍රීමත් බණ්ඩාරනායක යුවල බැබළුණා.

l අද වාගේම එදාත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ තිබුණාද?

ලංකාව උඩ යට මාරු කිරීම සඳහාත්, ලෝක සිතියමින් නොබැඳි රටවල්, සමාජවාදි රටවල්, ස්වාධීන රටවල් මකා දැමීම සඳහාත් බටහිර ජාත්‍යන්තර කුමන්ත්‍රණ දියත් වී තිබුණා. එහි ප්‍රධාන ආයුධය සෑම රටකම සිවිල් යුද්ධ ඇති කිරීම හරහා සිදු වුණා.

මේවා එකිනෙක සලකා බලන විට අවුරුදු 400ක බටහිර යටත් විජිතවාදය නව මුහුණුවරකින් වෙළෙඳ ආධිපත්‍යය ස්වරූපයකින් යළි පිහිටුවාලීමේ වෑයම ඔබට පැහැදිලිව පෙනේවි. ඒ සඳහා ආසියාතික රටවල පරගැති දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් විවෘතව ම මිලදී ගෙන දේශපාලන කුලී හමුදා ලෙස පවත්වාගෙන යෑමයි නූතන ස්වරූපයයි.

ලංකාවට තිස් අවුරුදු යුද්ධයක් කඩා වැටුණේ මෙම ජාත්‍යන්තර කුමන්ත්‍රණය හේතුවෙන්. කිසිම ආසියාතික රටකට විසඳාලිය නොහැකි වූ අභ්‍යන්තර සිවිල් යුද්ධ, අප රට නම්, දැන් අනභිභවනීය ලෙස පරාජයට පත් කොට හමාරයි. ඉදිරි පරම්පරාවට සාමකාමී, සහජීවනාත්මක, නවීන ලංකාවක් බිහි කිරීම වත්මන් යුගයේ අපගේ යුතුකමයි.

l මහා විනාශකාරී යුද්ධය ඉවරයි. දැන් අපිට ඉදිරියට යෑමට බැරිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 61 වැනි සංවත්සරය සමරන අද දවසේ අප ඇසිය යුතු ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි ලංකාව විසි එක් වැනි ශත වර්ෂය කරා ගමන් කරන්නේ කෙසේද? කුමන මාර්ගයකින්ද? කුමන ඉලක්ක කරාද? යන්නයි. මෙය මහා ප්‍රඥප්තියක් ලෙස ජාතිය ඉදිරියේ තැබීමයි සිදු විය යත්තේ.

l එය අද වන විට සිදුවී තිබෙනවා නේද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාර වී ඇති කටයුතු තුනක් තිබෙනවා. එක 21 වැනි සියවස කරා යෑම සඳහා ජාතියට නව මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීමයි. දෙවැන්න, ජනතාවගේ විශේෂයෙන් තරුණ කොටස්වලට මෙතෙක් නොලැබුණු අවස්ථා ලබාදීමයි. තුන්වැන්න, 21 වැනි සියවසට ඔබින ආකාරයෙන් ඒවා ඔවුනට ළඟා කර දීමයි.

l ඒ වැඩපිළිවෙළ රටට ජාතියට ඉතාම වැදගත්ද?

ලංකාවේ මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණු තුන එය විය යුතුමයි. මෙය දේශපාලන වැඩපිළිවෙළක් පමණක් ම නොවේ. මෙය මැතිවරණ සැලැස්මක් පමණක්ම නොවේ. මෙයට අලුත් නමක් යොදා තිබෙනවා.

ඒ නම සජීවී නාමයක්. ප්‍රාණය ඇති නිතරම විකසිත වන යථායෝග්‍ය ලෙස හැඩ ගැසෙන ජනතා අපේක්ෂා කැටි කරන වර්තමානයේ ජනහදවත්වල හෘදස්පන්දනය වන ජිවයක්. එයට “චින්තනය” යැයි කියනු ලබනවා.

l මෙහි ඇති සුවිශේෂත්වය කුමක්ද?

මෙය මෙතෙක් දකුණු ආසියාවේ භාවිතා වූ සංකල්පයක් නොවේ. එය ජීවමාන යථායෝග්‍ය වර්තමාන හා අනාගතවාදි හෘදස්පන්දනය වන්නා වූ වැඩ සැලැස්මක්. එබැවින් එයට ජනතාවගේ ගෞරවය හිමි වුණා. මේ යුගයේ කිසිවෙක් නොගිය මගක යන කිසිවෙකුට කල්පනා නොවූ මෙම සුවිශේෂ වැඩපිළිවෙළ තම බුද්ධියෙන් වටහා ගෙන හදවතින් ඇප කැපවී ජනතාවට පුද කළ නායකයාගේ නමින් එය “මහින්ද චින්තනය” නම් කොට තිබෙනවා.

මෙය පුද්ගලයකුගේ බුදලයක් නම් නොවෙයි. එය ලංකා මහා වංශයේ අලුත්ම පරිච්ඡේදයයි.

එය ලියන්නේ පන්හිදෙන් හෝ උල්පත් පෑනෙන් නොවේ. එය ලියන්නේ 21 වැනි සියවසේ ශබ්ද කෝෂය මගිනි. එබැවින් තවමත් විරුද්ධවාදී කිසිවෙකුට “මහින්ද චින්තනය” පිළිබඳ විවේචනයක් විග්‍රහයක් කළ නොහැකිව ඇත්තේ යැයි මම සිතනවා.

l මහින්ද චින්තනය විශේෂයෙන් කා සඳහාද ප්‍රමුඛතාව දී ඇත්තේ?

‘මහින්ද චින්තනය’ වයස අවුරුදු 35න් පහළ තරුණ පරම්පරාවේ ඉදිරි ගමනේ වාහනයයි. එය සමස්ත ලංකාව 21 වැනි ශත වර්ෂයේ ඈතට යොමු කරන මාවතයි. එහි නියමුවන් අමුද්‍රව්‍ය හා ඉලක්ක අපේම දරු කැලයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අප දරුවන් රටේ වේදිකාව මධ්‍යයේ වඩා සිඳුවාලීමත් බුද්ධිය පිපී ගොස් ලංකාවේ බුද්ධි විප්ලවයක් සිදු කිරීමත්, ලංකාවේ නිෂ්පාදනය සෑම අවුරුදු 10කටම වරක් දෙගුණ වීමත් ඉන් සිදු වෙනවා.

ලංකාවේ ගොඩ ආර්ථිකයට, සාගර ආර්ථිකය බද්ධ කිරීමත්, සාගර අය වැයෙන් ගොඩ ආර්ථිකයේ හිඟය පුරවාලීමත්, ලංකාව තම භූගෝලීය පිහිටීම අනුව ලෝක ගෝලයේ හිමි තැනට ළඟා කරවීමත් මෙයින් සිදු වෙනවා. මෙය සිංහල පමණක් නොව අන් ජාතිකයන්ගේ ද අන් ආගමිකයින්ගේ මහා පොත වෙනවා.

l මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන යුගයක රටේ විපක්ෂය ගැන ඔබගේ දැක්ම කුමක්ද?

21 වැනි ශත වර්ෂය ඉදිරියේ සමස්ත ලංකා විපක්ෂය දිය වී ගොසින් තිබෙන්නේ. එය සිතුම් පැතුම් වලින් මහලු වී ගොසින්. විකල්පයක් සෙවීමට ඔවුහු අපොහොසත්ව සිටිනවා.

l දේශපාලන වශයෙන් ශක්තිමත් ආණ්ඩුවක් ඇති කර ගත යුතු අධිෂ්ඨාන මොනවාද?

විසිඑක් වැනි සියවසේ නවීන ජාතියක් සහ සමාජයක් බිහි කිරීම අපගේ දේශපාලන ඉලක්කය කරගැනීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

ඒ සඳහා භෞතික සම්පත්, බුද්ධි සම්පත් ස්වභාවික සම්පත් හා භූගෝලීය පිහිටීමේ වැදගත්කම නුවණින් බලා නව රාජ්‍යයක් බිහි කිරීමට සිතිය යුතුයි.

මේ දේ ඉටු කරගැනීම සඳහා ඉතිහාසය විසින් දොර විවෘත කොට ආරාධනා කර තරුණ ලංකාවට පාවඩයක් දමා තිබෙනවා. එය පිළිගැනීම, එයට සහභාගී වීම එහි කොටස්කරුවන් වීම එහි මෙහෙයුම්කරුවන් වීම තරුණ ලංකාවේ ප්‍රධාන වගකීම සහ ප්‍රීතිය වෙනවා.

‘මහින්ද චින්තනය’ නම් වූ ජීවමාන සහ අනාගතවාදී උදාර සංකල්පය මේ අයුරින් ක්‍රියාවට නැංවීම අපට ඇති එකම මාර්ගය බව නොබියව කියන්නට කැමැතියි.

l මහින්ද චින්තන වැඩපිළිවෙලින් රටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

දස වසරකදී ලංකාවේ ජාතික වත්කම දෙගුණ කිරීම අපේ ඉලක්කයයි. දෙපයින් සිටගත හැකි රටක් වශයෙන් ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කර ආහාර සුරක්ෂිතභාවයේ පිහිටුවාලීම ඉලක්කය විය යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් සන්නද්ධ වූ අපේ දරුවන් ආසියාවේ විශිෂ්්ටතම බුද්ධි මණ්ඩපය ලෙස හැරවීමත්, විද්‍යා සාගරයකට, පරිවර්තනය කිරීමත්, ජාත්‍යන්තරයේ ගාම්භීර, නවීන, සහජීවනාත්මක සමාජයක ආදර්ශයක් හැටියට ලෝකයාට පෙන්වීමත්, අපේ සංස්කෘතික වගකීමයි.

පාසලේ පහේ පන්තියේ ප්‍රතිඵල 08, 10 පන්තිවල ප්‍රතිඵල ක්‍රීඩා මණ්ඩපවල ප්‍රතිඵල දකින විට සිංහල රජ දරුවන්ට ජීවමාන වී ආඩම්බර විය හැකි ලංකාවක් පහළ කරන්න ඕනෑ. එය පහළ වෙමින් ඇති බව පෙනී යනවා.

දහම් පාසල නව සමාජයේ හෘදය සාක්ෂිය බවට පත් කළ යුතුයි. ළමයා ශුද්ධ වස්තුවක් ලෙස සැලකිය යුතුයි.

‘මහින්ද චින්තනය’ නැමැති ජීවමාන උදාර සංකල්පය මුළු ජාතියම සන්නද්ධ කොට ‘නිදහස්’ පමණක් නොව ‘නිදහස් හා නවීන’ අධ්‍යාපනයක් ලංකාවට ලබා දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම පමණක් නොවෙයි ජාතියම මෙතැන් සිට ආමන්ත්‍රණය කරන්නේ ලංකා ඉතිහාසයේ පහළ වූ ප්‍රථම අධ්‍යාපනික ජනාධිපතිවරයා වශයෙන්.

l වසර 2016 - 20 වන විට අපේ රටට මීට වඩා හොඳ අනාගතයක් උරුම වේ යැයි ඔබ විශ්වාස කරනවාද?

රටටත් දරු පරම්පරාවටත් ගරු ජනාධිපතිතුමාටත් අනාගතයට විශ්වාසවන්ත හදවතකින් මුහුණ දීමට හැකි බව මට සහතික කොට කියන්න පුළුවන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා