අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට වූ කතාව බොරු

ගුරු සංගම් චෝදනා පදනම් විරහිතයි

ඇතැම් මාධ්‍ය වගකීම් පැහැර හැරලා

අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක්

විභාග ගැන ජනතා විශ්වාසය පළුදු කිරීම අරමුණයි

පසුගිය 26 වනදා පවත්වන ලද පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී යම් යම් ප්‍රශ්න කලින් පිටවී ඇතැයි මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු කිරිමේ දැවැන්ත කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විභාගවල සහ එහි ප්‍රතිඵලවල යම් යම් අඩුපාඩු ඇතැයි වැරදි ප්‍රචාර යවමින් මේ කුමන්ත්‍රණකාරීන් සිය කුමන්ත්‍රණය මේ වන විට දියත් කර ඇත.

මෙම කුමන්ත්‍රණය පිළීබඳව කරුණු සොයා බලන ලෙස අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ඊයේ (27) ඉල්ලීමක් කර ඇත.

මෙම කුමන්්‍ත්‍රණකාරින් පසුගිය වකවානුව පුරාම ගොතන ලද විවිධ අස්ථාන චෝදනා මෙන්ම තොරතුරුද සපයමින් ජනතාව හා මාධය නොමග යැවු බවත් ගුරු සංගම් කිහිපයක එක්තරා පිරිසක් පහ වසර ශිෂ්‍යත්ව විභාගය වැරදි සහගත ලෙස ක්‍රියාත්මක කළ බව පවසමින් මාධ්‍ය වෙත තොරතුරැ ලබා දී ඇති බවත් පැවසු ඇමති බන්දුල ගුණවර්ධන මහතා මෙය හිතාමතාම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය බිඳ දැමීමේ දෙස් විදෙස් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පෙනී යන බව ද පවසයි.

මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව පවසන ඇමතිවරයා විභාගවල යම් යම් අඩුපාඩු සිදු වු බව පෙන්වා දෙන්නේ නම් එයට වගකිව යුතු අයට තරාතිරම නොබලා ක්‍රියා කිරිමට තමා පසුබට නොවන බවද අවධාරණය කරයි.

විවිධ පුද්ගලයන් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ නඟන චෝදනා කිසිදු වග විභාගයකින් තොරව ජනමාධ්‍යවල ප්‍රචාරය කිරිමට ඉක්මන් වීමෙන් මාධ්‍යන්හි ගෞරවය හා විශ්වාසය පළුදු වන බව පෙන්වා දෙන ඇමතිවරයා එය වගකිව යුතු මාධ්‍යන්හි යුතුකම හා වගකීම නොවන බවද පෙන්වා දේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බවන්ධයෙන් මාධ්‍ය මගින් පවසන ‍කරුණු පිළිබඳව සොයා බලන ලෙසට තමා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කළ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ මගින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයිද කීය.

මෙම කරුණු සම්බන්ධයෙන් කොළඹ අපරාධ හා විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට තමා කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. ජේ. පුෂ්පකුමාර අ මහතා‍ගෙන් දිනමිණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා