කිසිදු ආගමකට ජාතියකට වෙනස්ව සලකන්නේ නෑ

සෑම ශ්‍රී ලාංකේය පුරවැසියකුගේම ජනාධිපතිවරයා මමයි

කිසිදු ආගමකට ජාතියකට වෙනස්ව සලකන්නේ නෑ

ජනපති කල්මුණේදී කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව සෑම ශ්‍රී ලාංකේය පුරවැසියකුගේම ජනාධිපතිවරයා මෙන්ම සෑම ආගමකම භාරකාරයා ද වන තමා කිසිදු ආගමකට ජාතියකට වෙනස්ව නොසලකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ත්‍රස්තවාදය නිමා කළ පසු සියලු ජාතීන් සමඟියෙන් ජීවත් වන බව සිහිපත් කළ ජනාධිපතිවරයා මැතිවරණ නිසා ජාතිවාදය අවුස්සන්නට එපා යැයි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

පන්සල, පල්ලිය, කෝවිල යන සියලු ආගමික ස්ථාන ආරක්ෂා කරන්නේ තම මිස වෙනත් කෙනකු නොවන බව පවසන ජනාධිපතිවරයා තමා සිටින තෙක් කිසිදු ආගමික ස්ථානයකට හානියක් කිරීමට ඉඩක් නොතබන බව අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පළාත් සභා මැතිවරණයේ අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජයග්‍රහණය තහවුරු කෙරෙන කල්මුණේ විජයග්‍රාහී ජනරැලියට කල්මුණේ නගරයේදී ඊයේ (27) එක්වෙමිනි.

සියලු ජාතීන් ත්‍රස්තවාදය හේතුවෙන් විඳි දුක්ගැහැට තමා හොඳින් දන්නා බව පැවසූ ජනාධිපතිවරයා මැතිවරණ කාලයේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී බුද්ධිමත්ව සිතා බලා තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටියේය. 2005 වසරේ වැඩි ඡන්ද 180,000 කින් තමා ජයග්‍රහණය කරවන ලද ජනතාව 2010 වසරේ වැඩි ඡන්ද 1,800,000 කින් සිය ජයග්‍රහණය තහවුරු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව පසුගිය කාලයේ පැවැති මැතිවරණ 23 කින්ම විශිෂ්ට ජයක් තමා වෙත ලබා දුන් බව සිහිපත් කළේය.

මේ රටේ ජනතාව තමාට සෑමවිටම විශ්වාස බව පැවසූ ජනාධිපතිවරයා මෙවැනි ජයග්‍රහණ ලැබෙන්නේ ජනතාවත් තමා විශ්වාස කරන නිසා බව ප්‍රකාශ කළේය.

පල්ලි, පන්සල් කඩන බවට අසත්‍ය චෝදනා නඟන අය තමාගේ මුහුණට මුහුණ හමු වූ විට පවසන්නේ එවැනි කතා නොවන රජයේ හොඳ පිළිබඳව පමණක් යැයි ජනාධිපතිවරයා පැවැසීය.

සෑම දරුවකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීම සිය අරමුණ මෙන්ම වගකීම බවත් මේ ප්‍රදේශවල ජනතාවගේ සියලු අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ඒ. එල්. එම් අතාවුල්ලා මහතා ද අදහස් දැක්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර මහතා සහ ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා